නීල නයනී 14


නීල නයනී


14_කොටස


( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" තරහා වෙන්න එපා චුටි මහත්තයෝ ... "


" අපි දුප්පත් උදවිය. ඉතින් ඇගිල්ලේ තරමට ඕන ඉදිමෙන්න. සල්ලි තියෙන අය දන්නේ නෑ අපේ දුප්පත් හැඟීම් ගැන. හිතුන ගමන් අතහැරලා දාන්න එයාලාගේ සල්ලි බලය නිසා පුලුවන්. රන්දුනු ලොකු මහත්තයා වගේ දවසක චුටි මහත්තයත් වෙනස් වෙයි ද කියලා කව්ද දන්නේ. මගේ අහිංසකීට පාඩුවේ ඉන්න දෙන්න මං වැදලා ඉල්ලන්නන් චුටි මහත්තයෝ ... "


ඔහුට මරු පහරක් වගේ වුනා රන්දුනුගේ ලේබලය ඔහුටත් වදිද්දි. හිතට දැනුණු කෝපයත් වේදනාවත් කොල්ලා දරාගෙන හිටියේ මවක් විදියට දර්ශනිත් හිතන විදිහ ගැන වැරද්දක් නැති නිසා.


" දවසක අම්මාගේ ඔය අදහස වෙනස් වෙයි ... "


" මං ක්‍රියාවෙන් ම රන්දුනු වගේ නෑ කියලා අම්මට ඔප්පු කරලා පෙන්නන්නන් ... "


" ආරූ ගැන ඇරෙන්න මං ආදරයකින් හැඟීමකින් වෙන කෙල්ලෝ දිහා බලලා නෑ කියලා මං දන්නවා. ඉතින් දවසක අම්මා ඒ හැමදේම ඇස් දෙකෙන් දැකලා හොද තීරණයක් ගනිවී කියලා මං හිතනවා ... "


කෙල්ල ඇසුත් පොඩි කර කර රකේල් දෙසත් තම මව දෙසත් බැලුවේ මෙතන මොකක්ද වෙන්නේ අහන්න වගේ. කොල්ලාගේ තවමත් කොපුල් තල වල නොවියලුනු කදුලු කැටවෙද්දී කෙල්ලගේ ඇස් ගැස්සුනා.


" සුදු හාමිනේ ... ඔහොම ගෙවල් ඉස්සරහාට එනවා ද ... "


" යනවා ... මූණ හොදගෙන එනවා ... "


කෙල්ල හිටියේ තවමත් රෑ ඇදුම පිටින්. එය පිජාම කිට් එකක් වුනත් දර්ශනීට කෙල්ල එක්ක තරහත් එක්ක. ඇය රවලා බැලුවේ කෙල්ල පුදුමයෙන් තම මව දිහා බලද්දි. කවදාවත් නැතිව ඇය සැර පරුෂව තමාට කතා කිරීම ගැන කෙල්ල හිටියේ හොල්මනක් දැකලා වගේ බය වෙලා.


" අම්මා ... මගෙත් එක්ක තියෙන තරහාට ආරූට බනින්න එපා ... "


" දැන් මං යන්නම් ... ඔයා මාව පිලිගත්ත දවසට ආයෙමත් එන්නන් ... "


කෙල්ල දිහා මොහොතක් ආදරයෙන් බලන් හිටිය කොල්ලා ඉදගෙන හිටිය බංකුවෙන් නැගිට්ටේ ඇස් වලින් කෙල්ලට යන බව අගවමින්මයි.


" අම්මේ ... මොනවාද චුටි මහත්තයා ඒ කිව්වේ ... "


" ඇස් වල කදුලුත් තිබුණනේ ... "


දර්ශනීගේ හිතට ආව නොරිස්සුමත් එක්ක කෙල්ල දිහා රවලා බැලුවා. මව ඉන්නේ කේන්තියෙන් කියලා තේරුණු නිසාම කෙල්ල හැදුවේ එතනින් හිමීට මාරු වෙලා යන්න.


" ඔහොම ඉන්නවා ටිකක් ... මං කියන දේ හොදට අහගෙන යනවා ... " 


කෙල්ල හෙරක් වගේ යටැසින් බලමින් සිටි තැනම නතර වෙලා හිටියේ මව දුම්මල වරම අතට අරගෙන තියෙන්නේ ඇයි කියන හිතන ගමන්. රකේලුත් ඒ කේන්තියට සම්බන්ධයි කියන එක නම් කොල්ලා යද්දි මවගේ ඇස් වල තිබුණු නොපහන් බවින්ම තේරුණා.


" චුටි මහත්තයා එක්ක ආයේ කොයි වේලාවකවත් කතා කරලා මට අහුවෙන්න එපා හරිද ... "


" ටික දවසක් යනකොට ලොකු නෝනාම චුටි මහත්තයාට ගැලපෙන තැනකින් කටයුත්තක් කරලා දෙයි ... "


කෙල්ල පුදුම වෙලා වගේ තම මව දිහා බැලුවේ ඇයි එහෙම හිතුවේ කියලවත් හිතාගන්න බැරිව. කවදාවත් නැතිව ඒ හිත රිදුනා රකේල් වෙන කෙනෙක්ගේ වෙයි කියලා තම මව කියද්දී. ඇය කරබා ගෙන තම කාමරයට යන්නයි ලෑස්ති වුනේ. ඒත් දර්ශනී ඉදිරියට විත් ඇය යන මග හරස් කලා.


" සුදු හාමිනේ ... මේ අම්මා දුක් විදිනවාට කැමති නම් චුටි මහත්තයා ගෙනාපු යෝජනාවට කැමති වෙලා ඕන දෙයක් කරගන්න ... "


" හැබැයි එදාට එක මොහොතක් මං මේ ගෙදර ඉන්න එකක් නෑ ඒක මතක තියාගෙන වැඩ කරන්න ... "


මවගේ දරදඩු හැසිරීම් එක්ක පොඩි එකෙක් වගේ හැදුණු කෙල්ලට එය දරා ගන්න බැරි වුනා. කෙල්ල අඩාගෙනම කාමරයට දිව්වේ දැන් දැන් තම මවට තමන්ව නොරුස්සන එක ගැන වේදනාවෙන්මයි.


" ටිකක් ඇඩුවට කමක් නෑ. හුරතල් කරන්න ගියොත් තවත් හිතුවක්කාර වෙනවා ... "


එදා දර්ශනීවත් කෙල්ලවත් දන්නේ නැති වුනාට යන්න ගිය රකේල් නැවතත් ඔවුන්ගේ නිවසට ආවේ ප්‍රියංකාගෙන් ලැබුණු පණිවිඩයක් දර්ශනීට කියන්න හිතාගෙන.


" මං නිසා මගේ කෙල්ලත් දොස් අහනවා ... "


" මට සමාවෙයන් මැණික ... මේ හැම ප්‍රශ්නයකට විසදුම් හොයාගෙන මං උ/බ/ව අම්මාගේ කැමැත්තෙන් ම දවසක අරගෙන යනවා ... "


" නපුරු රකේල් හිටියා නම් සමහරවිට උ/බ මේ වෙනකොටත් මගේ වේලා ඇති ... "


ඒ මුවින් බරැති සුසුමක් පිටවෙද්දි කරන්නට ආ දෙයද අමතක කර කොල්ලා ප්‍රමේෂ්ව රැගෙන ඒමට තම කාර්යාලයට යන්න පිටත් වුනා.


" රකේල් මහත්තයා ... රකේල් මහත්තයා ... "


කොල්ලා කල්පනාවෙන් දුරක ඉද්දි නිමන්ත කොයිතරම් කතා කලත් ඔහු ඇහුණේ නෑ. කිහිප සැරයක් කතා කරද්දි ඔහු පියවි ලෝකේට ආවේ.


" ආහ් ... නිමන්ත මොනවත් ඇහුවාද ... "


දර්ශනීගෙත් කෙල්ලගේත් මුවේ මදහසක් නැගෙද්දි. නිමන්ත නම් ලෙඩ පැත්තක තියලා අපහසුවෙන් වුනත් තරමක් හඩින් හිනා වුනා. ඔහුට තේරුනා තමන් නොගැලපෙන කතාවක් ඇහුවේ කියන එක. ඔවුන් කතා කරන අතරතුර තමන් මොහොතකට බර කල්පනාවක වැටුනු බව ඔහු දන්නවා. ඒ නිසාම කොල්ලා ලැජ්ජාවට ම මූණ රතු කරගෙන හිටියේ.


" ලෝකේ එහා කෙලවරටවත් ගිහින් ද ආවේ රකේල් මහත්තයෝ ... "


කොල්ලා රැවුල් කොට පිරුණු මුහුණ අතගාමින් හිනා වුනේ කියන්න දෙයක් නැතිකමට. හැමෝට ම හොරෙන් කෙල්ලත් රකේල්ගේ හිනාව දිහා ආසාවෙන් බලන් හිටියා. දර්ශනීත් රකේල් දිහා බලන් කල්පනා කලේ එදා තමන් හදිස්සි වෙලා ඔහුගේ ආදරය ප්‍රතික්ශේප කල එක හරිද කියලා. 


" නැන්දේ ... දැන් ම කියන්න නංගිව වැඩට යවන්න කැමති ද නැද්ද කියලා ... "


දර්ශනීට බැලුනේ කෙල්ල දිහා. ඇය හිස් බැල්මකින් බලන් හිටියේ නිමන්තගේ අතකට සවි කරලා තිබුණු කැනියුලාව දිහා.


" මගේ අකමැත්තක් නෑ පුතා ... "


" ඔයාලා දැන් දැනුන් තේරුම් ඇති ළමයි. මං කැමතියි හැඟිම් වලට වහල් නොවී තමන්ට ගැළපෙන කෙනාද කියන එක හොදට හිතලා බලලා තීරණය කරන එකට ... "


" ඒ නිසා රාජකාරිය හරියට කරගෙන ටික කාලයක් ඉන්න ... "


රකේල් හිත ඇතුලෙන් පිනුම් ගහනවා. දර්ශනීගෙන් කොල එලි වැටුනා කියන්නේ තමන්ගේ ආදරේට සුභවාදී පිලිතුරක් ලැබුනා කියන එක නිසා.


" අපිට ජිවිතේ වැරදුනු තැන් වැඩි පුතා. ඔයාලත් ජිවිතේ වරද්ද ගනී කියන බය මගේ හිතේ හැම වේලේම තියනවා. ඒ නිසා ආයී කියනවා විදවන්න හේතු හදාගෙන ජිවිතේ අපායක් කරගන්න එපා ළමයි ... "


මිගාර ඇය හා බැදි අතීතයේ තමන්ට ලැබුණු දේට වඩා නොලැබුණු දේවල් වැඩී කියලා දර්ශනී දන්නවා. ඒත් හැම දවසක ම තමන් උත්සාහ කලේ ඔහු එක්ක සතුටින් ඉන්න. නමුත් සැපට හැදුණු මිගාරට කාලයක් යනකොට අගහිඟකම් දරා ගන්න බැරි වුනා. එදා සිට තමන්ගේ සැනසීම ටිකෙන් ටික මිගාර නැති කල හැටි ඇයට තවම මතකයි. දරුවෙකු කුස තුල සිටියදීත් තමා අවාසනාවන්ත ගැහැණියක නමින් හංවඩු ගසමින් තමන්ට වද දුන් ඒ අතීතය ඇය මතක් කලේ වේදනාවෙන්. ඇස් කදුලින් පිරෙද්දි දර්ශනී ඔවුන්ව මග හැර රෝහල් කාමරයෙන් පිටතට ගියා.


" මට කපු ගාස්තුව ගෙවන්න වෙයි රකේල් මහත්තයෝ හොදේ ... "


" මහත්තයාටත් කලින් මං නැන්දා එක්ක කියලා තිබුණේ ඒ ගැන ... "


" නැන්දාගේ සැර බාල වුනා කියන්නේ වැඩේ ගොඩ කියන එක තමයි ... "


කෙල්ල රකේල්ගේ ඇස් මග හැර බිම බලා ගත්තේ ඔහුගේ බැල්මේ මනමාලකම බේරෙන නිසා. දෙතොලේ කොනක් හපා ගෙන රකේල් බලන් හිටියේ ලැජ්ජාවෙන් මුලු වතම ජම්බු ගෙඩියක් වගේ රතු කරගෙන ඉන්න කෙල්ල දිහා. නිමන්තත් ඔවුන්ට බාධා නොකර රකේල්ගේ ආදරය හොදින් නිරික්ෂණය කලා. 


" රකේල් මහත්තයාත් මං වගේ කොල්ලෙක්. ඒ ආදරේ ඒ ඇස් වලින් ම පේනවා. අනික සුදු හාමිනේ වගේ කෙල්ලෙක්ට කව්ද අකමැති. කටකාර වුනත් හරිම හුරතල් හොද ගති ගුණ තියෙන කෙල්ල. අනික රකේල් මහත්තයා හුගාක් වෙනස් වෙලා කියලා ලොකු නෝනත් කිව්වා. මගේ සුදු හාමිනේගෙත් සතුටත් එතන කියලා තේරෙද්දි මං ලග තියාගන්න උත්සාහ කරන එක තේරුමක් නෑ ... "


" මට සමාවෙයන් නංගි ... උබ ලොක්කයියේ කිව්වාට මගේ හිත එදා තිබුණේ සහෝදර බැදීමක් ම නෙමේ ... "


රෝහල් කාමරයේ දොරට තට්ටු කරන හඩින් තිදෙනාම තිගැස්සුනා. ඔවුන්ගේ හිත් දොඩමලු වෙමින් තියෙද්දියි දුකින් පිටතට වෙලා හිටිය දර්ශනී එක්ක ප්‍රියංකා ආවේ.


" කොහොම ද පුතා දැන් ... "


නිමන්ත ඇද අසලට ගිය ප්‍රියංකා එහෙම ඇහුවේ ඒ හිසත් අත ගාමින්.


" අතයි ... කකුල් දෙකයි තමා අවුල ලොකු නෝනා ... "


" අනිත් තුවාල නම් ඒ තරම් ප්‍රශ්නයක් නෑ ... "


කෙල්ල නිමන්ත දිහා බලන් හිටියේ දුකෙන්. තමන්ට පුංචි ලෙඩක් හැදුනත් බැන බැන ඇයව ඔහු බලා ගත්ත හැටියි ඇයට මතක් වුනේ. 


" සුදු හාමිනේට දුක හිතිලා නිමන්ත පුතා ... "


" මෙන්න ඇස් වල කදුලු ... "


රකේල්ගේ හිතට පුංචි ඉරිසියාවකුත් දැනුණා කෙල්ල නිමන්ත වෙනුවෙන් දුක් වෙද්දි. 


" ඒකී මගේ නංගිනේ ලොකු නෝනා. ඉතින් පුංචි ලෙඩක් හැදුනත් අපි අපි ගැන දුකයි ... "


ප්‍රියංකා ලග හිටිය කෙල්ලගෙත් හිසත් අත ගෑවේ ගැහැණු දරුවෙකුට ආසාවෙන් හිටියමුත් තමන්ට ලැබුණේම පුතුන් දෙදෙනෙකු වීම නිසාම කෙල්ලට කුඩා කල සිට ම තමන්ගේ දියණියක් සේ සලකා ප්‍රියංකා හුගාක් ආදරේ කලා.


" රකේල් පුංචි කාලේ ගමේ ක්ලිනික් එකට බර බලන්න එක්ක යද්දි දර්ශනීත් සුදු හාමිනේව අරන් එනවා ඉතින් ... "


" සුදු පුතා ... මගේ බොනික්කා ... මගේ බොනික්කා ගගා කෙල්ලව අත ගාන එකෙයි ඉබින එකෙයි ඉවරයක් නෑ ... "


කොල්ලා දිහා කෙල්ලට බැලුනේ ඉබේටමයි. ඔහු කාටවත් නොපෙනෙන්න කෙල්ලට ඇහක් ගැහුවා. ආරූ  


" අතට ගන්න පොරේ ... මං බොහෝම අමාරුවෙන් අන්තිමට ගෙදර එක්කන් එන්නේ ... "


" සුදු පුතා බිම පෙරලි පෙරලි අඩන්නේ මගේ බෝනික්කා ඕන කිය කිය ... "


රකේල්ට වගේම කෙල්ලගේ අතීතයේ ඔවුන් සමීප හිටියා කියලා ඇහෙද්දි හිතට දැනුණේ අමුතුම හැඟීමක්. කොල්ලාට නම් හිතුනේම පොඩි කාලේ වගේ ඇති වෙනකන් ඉබි/ න්න තිබුණන් කියලා.


" දැන් දෙන්නාම ලොකුයිනේ ලොකු නෝනා ... දැනුත් හිතෙයි ද දන්නේ නෑ බෝනික්කාව ගෙදර අරගෙන යන්න ... "


හැමෝගේම මුවට හිනාවක් ගේන්න නිමන්තගේ කතාවට පුලුවන් වුනා. ඒත් කෙල්ලට නම් දැනුණේ අපහසුවක්. ලොකු නෝනාගේ පිලිතුර මොන වගේ එකක් වෙයිද කියන එක ඇයගේ හිත නොසන්සුන් කරලා තිබුණා.


" අනේ එහෙම වෙනවා නම් කොයිතරම් දෙයක් ද ... "


" මම නම් මේ බොනික්කිව අරන් යන්න එදත් කැමතියි අදත් කැමතියි ... "


දර්ශනීගේ හිතට සැනසීමක් ගේනවා ප්‍රියංකාගේ ඒ වදන් ටික. ඇය බයෙන් හිටියේ කොල්ලාගේ ගෙදරින් තම දියණියට අකැමති වුනොත් දෙන්නාට ම දුක් විදින්න වෙයි කියලා.


" මොකද කියන්නේ යමුද අපේ ගෙදර හැමදාට ම ඉන්න ... "


ප්‍රියංකාගේ වදන් එක්ක කෙල්ල ඇය දිහා බැලුවේ හිතේ ඇති වුනු තිගැස්මත් එක්ක. ප්‍රියංකාට හිනා ගියේ කෙල්ලගේ ඇස් වල තියෙන බයට.


" මං විහිලුවක් නෙමේ කලේ සුදු හාමිනේ ... "


" සුදු පුතා දවසක් ඔයා ගැන ප්‍රමේෂ් පුතා එක්ක කියව කියව ඉන්නවා මට ඇහුනා ... "


රකේල් කොන්ඩේ උඩට කරමින් වටපිට බැලුවේ මවගෙන් සැගවෙන්න වගේ. කොල්ලාට ලැජ්ජාවකුත් දැනුණා තමන් ඒ මොහොතේ ප්‍රමේෂ් එක්ක මොනවා කිව්ව ද කියලා හිතාගන්න බැරි නිසා.


" එදා තමයි මම කාලේකට පස්සේ හුඟාක් සතුටු වෙච්ච දවස ... "


නිමන්තටත් සතුටුයි කෙල්ලට රකේල්ගේ මවගෙත් කැමැත්ත ලැබුණු එකට. ඒත් රන්දුනු ගැන විශ්වාසයක් දර්ශනීගේ හිතේ වගේම ඔහුගේ හිතෙත් තිබුණේ නෑ. ඔහු විශ්වාස කලේ රකේල්ව. කවදාවත් ඇයට ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙන එකක් නෑ කියලා ඔහු දන්නවා. 


" සුදු හාමිනේ වගේ හොද දරුවෙක්ව තෝර ගත්ත එක මට සැනසීමක් ... "


" දර්ශී ... දුව ව මට දෙනවා ද ... "


දර්ශනීට උත්තරයක් දෙන්න ඒ මොහොතේ අපහසු වුනා. නිශ්ශබ්දව ඉන්න හොද නෑ කියලා හිතපු නිසාම දර්ශනී තමන්ගේ අදහසත් ප්‍රකාශ කලා.


" අපි එයාලාට ම කියමු ලොකු නෝනා ටික කාලයක් ඉදලා ම තීරණයක් ගන්න කියලා ... "


" මොකද දැන් ගත්ත තීරණයක් කාලයත් එක්ක වෙනස් වෙන්න පුලුවන් නිසා ... "


ප්‍රියංකාත් ඇයගේ අදහස අනුමත කලා. මොකද ඇයට වගේම දර්ශනීටත් ජිවිතේ වැරදුනු නිසාම කලබල වෙලා වැරදි තීරණ වලට එන්න ඇයත් කැමති වුනේ නෑ. ඒකට නිදහස දරුවන්ට ම ඔවුන් දුන්නා.


" මුලදි තිබුණු ආදරේ අන්තිම කාලේ වෙනකන් ම තියෙන්න ඕන පුතේ ... "


" ඒ නිසා ඔයාලා හොදට හිතලා ආදරේ කරන්න පටන් ගන්න ... "


රකේල්ට නම් පොඩි නොරිස්සුමකුත් හැමෝම ගැන දැනුණා. තමන් ඇයව තෝර ගත්තේ ආදරය නිසාම කියලා ඔහුට විශ්වාස නිසා.


" මං අද කියන දේ මගේ ජිවිත කාලේට ම වලංගුයි අම්මේ ... "


" මං ආරූව තෝර ගත්තේ හැඟීම් වලට වහල් වෙලා නෙමේ ... "


" මාත් එක්ක ජිවත් වෙන්න ඕන හැම සුදුසුකමක් ම එයාට තියෙන නිසා ... "


කෙල්ලගේ හදවත අද වේගයෙන් ගැහෙනවා. හිත අමුතු කතා ගොඩක් කියනවා. ආදරයත් බියකුත් මුසු වී ඇයව හැඟිම් වලින් පුරවනවා. නිවුනු ඒ ආදරයෙන් පිරිණු හඩ ඇයව ඔහුත් ඇයත් පමණක් ඉන්න ලෝකයකට අරන් යනවා. දරන්න බැරි ආදරේ ලග ඇයගේ ඇස් වලට කදුලු උණනවා. 


" අනික මහා හුගාක් ආදරේ මං ලග එයා වෙනුවෙන් තියෙනවා ... "


ඒ කදුලු පිරුණු ඇස් තමන්ගේ ඇස් වලින් අල්ලගෙන රකේල් හුඟාක් හැඟීම්බරව එහෙම කියද්දි එතන ඉන්න හැමෝටම ඔහුගේ ආදරේ දැකලා සතුටු හිතුනා. දර්ශනීගේ මුවින් සැනසුම් සුසුමක් හෙලුනේ ඒ හිතේ තිබුණු බරත් පහව යද්දි.


" ආදරයක් නැතුව කෙනෙක් ලං කරගන්න බෑ අම්මා ... "


" ඉතින් දැන් ඔයාගේ පුතාගේ හුස්ම ටික තමයි එයා ... "


" ඔයාලා කැමති විදියට අපි ටික කාලයක් ඉන්නන් හැබැයි මගේ ආදරේ, මගේ කැමැත්තේ වෙනසක් වෙන්නේ නෑ ... "


කෙල්ලට ඉබේ ම දර්ශනීගේ අතකින් ඇල්ලුනේ ආදරයට ආගන්තුක ඇයට ඇසුණු දේවල් එක්ක සිටගෙන සිටීම පවා අපහසුවක් දැනෙද්දි.


" මේ මගේ කකුල් දෙකයි අතයි හොද වෙනකන් වෙඩිම එහෙම ගන්නේ නෑ හරි ද ... "


" මට මගේ නංගිගේ වැඩ ටික මගේ අතින් ම කරලා දෙන්න ඕන ... "


දර්ශනීට මුවා වෙලා ලැජ්ජාවෙන් ඉන්න කෙල්ලටත් රකේල්ටත් නිමන්ත එහෙම කියද්දි කොල්ලා ඔහුගේ පිටට නොරිදෙන්න පහරක් ගසමින් ඔහුගේ සරදම් වලට හිනාවුනා. 


" එදාට ඩාන්ස් එකක්වත් දාන්න එපැයි ... "


ඒකට නම් කෙල්ලටත් හිනා ගියේ නිමන්ත අතක් එහා මෙහා කරන්න ගිහින් ඒ අතේ තිබුණු තුවාලය පෑරී ඒ මුව ඇද වී ගිය හැටි දැක්කාමයි.


" පේනවනේ දැන් ම මුකුත් කරන්න බෑ කියලා ... "


ප්‍රියංකාත් දර්ශනීත් ඔවුන්ගේ කෝලම් දිහා ආදරයෙන් බලන් ඉද්දී දොරට තට්ටු කරමින් හෙදියත් නිමන්තට ප්‍රතිකාර කල  වෛද්‍යවරියයි ඇතුලට ආවා.





නිමන්තව වෛද්‍යවරියට නිදහසේ බැලීමට ඉඩ දී සියලු දෙනා ම ආවේ වේනූෂ් සිටි රෝහල් කාමරයට.


" වේනූෂ් නිදි ද අන්කල් ... "


හුස්ම ගැනීමේ සවි කර තිබු උපකරණ ගලවා තිබුණත් හෘදයේ වෙනස් කම් බැලීමට සදහා අවශ්‍ය උපකරණ පමණක් තවමත් සවි කරලා තිබුණා. කෙල්ල ඔහු සිටින හැටි දකිද්දි හුගාක් බය වුනා. ඇය අසලින් ම හිටිය ප්‍රියංකාගේ අත තදින් අල්ල ගත්තේ ඒ බියෙන්මයි. 


" සුදු හාමිනේ ... බය වුනා ද ... "


රමේෂ් රකේල් අසපු දේට පිලිතුරක් දෙන්නත් කලින් ප්‍රියංකාගේ හඩ අවදි වෙද්දි සියලු දෙනාගේ ම ඇස් ඇය වෙතට හැරුණා. කෙල්ල ප්‍රියංකාගේ අතක එල්ලී බයෙන් වේනූෂ් දිහා බලන් ඉන්න හැටි දකිද්දී රකේට කෙල්ල ගැන බයකුත් දැනුණා. ඒ තරමට ඇය හිටියේ කම්පනයක.


" මේ දරුවා බය වෙලා වගේ පුතා ... "


" සංගීතා දැකපු දවසෙත් හුගාක් බය වුනාලු දුව ... "


" පුතා තමා සංගීතාට කියලා තිබුණේ ... "


ප්‍රියංකා කෙල්ලගේ උරහිස වටා අත යවලා තුරුල් කරගත්තේ කෙල්ල ඇයගේ පපුවට මුහුණ තද කරගෙන තදින් ඇස් පියා ගනිද්දි.


" අම්මා ... ආරූව අරගෙන එලියට ගිහින් වාඩි වෙලා ඉන්න මං එන්නන් ... "


වේනූෂ් හිටියේ බෙහෙත් වල පිහිටෙන් තද නින්දක. ඒ නිසා ම නැවතත් ඔහුව බලන්න එන්න හිතාගෙන ම ප්‍රියංකාත් දර්ශනීටත් මැදි වෙලා කෙල්ලව රෝහල් කාමරයෙන් පිටතට අරන් ගියා.


" ඒ දරුවා හුඟාක් සංවේදී ඇති පුතා ... "


" ඒකයි ඔහොම ෂෝක් වෙන්නේ ... "


රමේෂ් සමග හිටියත් කොල්ලාගේ හිත තිබුණේ පිටතට ගිය කෙල්ල ලග.


" ඔව් අන්කල් ... මටත් එහෙම හිතෙනවා ... "


" ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයි ද මන්දා ... "


රමේෂ්ගේ මුවේ ඇදුණේ ලස්සන හිනාවක්. ඒ හිනාවෙන් ම ඔහු රකේල්ගේ පිටට තට්ටුවක් දැම්මා.


" ඔය තරම් ඒ ළමයා ගැන වද වෙන එක නම් මට ඇල්ලුවේ නෑ පුතා ... "


කොල්ලා අහක බලාගෙන හිනාවෙලා රමේෂ්ගේ සැකය තහවුරු කලා.


" එයා මගේනේ අන්කල් ... ඉතින් වද නොවී කොහොමද ... "


වේනූෂ්ගේ වයසේ ම පසුවෙන කොල්ලාගේ  ආදරය දැක රමේෂ් හුඟාක් සතුටු වුනා. 


" එහෙම තමයි පුතා හිතන්න ඕන. ඒක අදටත් හෙටටත් අනාගතයටත් වලංගු කරගන්න ... "


" එතකොට තමයි පුතා ලස්සන මතකයන් ඉතුරු වෙමින් ජිවිතය සතුටින් ගලාගෙන යන්නේ ... "


රකේල්ට පුංචි දුකකුත් දැනුණා තමන්ටත් හැමදේම කියන්න පුලුවන් රමේෂ් වගේ ආදරණීය පියෙක් හිටිය නම් කියලා හිතෙද්දි. 


" ඔව් අන්කල් ... මම හුඟාක් වාසනාවන්තයි ආරූ වගේ කෙල්ලෙක් ලැබෙන්න තරම් ... "


" ජිවිතේ ඕන ප්‍රශ්නයකදී මට එයා හයියක් වෙයි අන්කල් ... "


" අද ඉන්න පියුරු බබ්බු වගේ නෙමේ අන්කල් එයා පොලොවේ පය ගහලා හිතේ හයියෙන් ජිවිතය දිනන්න උත්සාහ කරපු කෙල්ලෙක් ... "


" මට එයා ගැන ආඩම්බරයි අන්කල් කවදා හරි මගේ දරුවන්ට වගේම මටත් අම්මෙක් වෙලා එයා අපිව බලා ගනී ... "


කෙල්ලගේ අතේ තිබුණු හැන්ඩ් බෑගය රෝහල් කාමරයේ පුටුව මත වැටී තිබුණු නිසාම දර්ශනී එය රැගෙන යාමට ඇතුලට එන්න බාගෙට වැහුණු දොර තල්ලු කරන්න හදද්දීම ඇහුණේ කෙල්ල ගැන කොල්ලා කියන වචන ටික. ඇය හුඟාක් පසුතැවුනා එදා ඔහුගේ ආදරේ ප්‍රතික්ශේප කරමින් ඒ හිත රිද්දපු එකට. 


" එදා මගේ නෝනාව බේරගත්ත මේ දරුවා ගැන මාත් හුඟාක් පැහැදීමකින් හිටියේ ... "


" නෝනාගෙයි මගෙයි අදහසක් තිබුණා ඇත්තටම ඒ දරුවා ව අපේ ගෙදරට අරන් යන්න ... "


කොල්ලාගේ හිත කලබල වුනු හැටි රමේෂ් හොදට ම දැක්කා. ඒ නිසාමයි ඔහුගේ හිතට සැනසීමක් ගේන්න හිතන් මෙහෙම කිව්වේ.


" ඔයා වාසනාවන්තයි තමයි පුතා ඒ වගේ හිත හයිය කෙල්ලෙක් ලබන්න ... "


" අපි ඔයාගෙන් එයාව උදුර ගන්නේ නෑ දරුවෝ ... "


රමේෂ්ගේ පැහැදිලි කිරීමත් එක්ක රකේල්ගේ ඇස් වල ඇති වුනු අදුර පහව ගිහින් දිලිසෙන්න ගත්තේ හිතේ සැනසීමෙන්මයි.


දොරට තට්ටු කරමින් දර්ශනී ඇතුලට එද්දීම වගේ සැප නින්දක හිටිය වේනූෂුත් අවදි වුනා.


අපහසුවෙන් ඇස් ඇරගන්න දගලන වේනූෂ් ලගට අඩියට දෙකට රමේෂ් ලං වුනා.


" පුතා ... මාව ඇහෙනවාද ... "


හිසෙන් දැනෙන වේදනාවත් එක්ක ඔහු හිටියේ ඇස් ඇරගන්න බැරිවයි.


" අන්කල් අපි ඩොක්ටර්ව ගෙන්නමු නේද ... "


" වේනූෂ් ඉන්නේ වේදනාවෙන් වගේ ... "


එතකොටයි රමේෂ්ට එකත් කල්පනා වුනේ. තම දරුවගේ වේදනාව ලග ඔහුට කල යුතු දේත් අමතක වෙලා. ඒත් අපහසුවෙන් වුනත් වේනූෂ් හිතේ හයියෙන් ඇස් ඇරලා වටපිට බැලුවා. 


" ඔව් පුතා ... කලබලයට මට ඒකත් අමතක වුනා ... "


රමේෂ් එතනින් පිටව යද්දි රකේල් වගේම දර්ශනීත් ඔහු අසලට ලං වුනා. ඒත් කුතුහලයෙන් වගේ ඔහු දෙන්නා දිහා ම බලද්දි රකේල්ට නම් ඔහුගේ හැසිරීම් ගැන සැක හිතුනා.


" ක...ව්...ද ... ඔ...යාලා ... "


දර්ශනී පුදුමයෙන් වගේ බැලුවේ රකේල් දිහා. කොල්ලා හිස වැනුවේ ඔහුට වේනූෂ් ගැන දුකක් දැනෙද්දි.


" එයාට මෙමරි ලොස්ට් එකක් වෙලා වගේ අම්මා ... "


දර්ශනී අඩියක් පිටුපසට ගිහින් තම කට අතින් වහගත්තේ සංගීතා මේ තත්වයට කොහොම මුහුණ දෙයි ද කියලා හිතද්දි.


" පව් දෙයියනේ ... හොද මිනිස්සුන්ටමයි කරදර ඉවරයක් නැත්තේ ... "


තවමත් වේනූෂ් සැකෙන් වගේ දර්ශනී දෙසත් රකේල් දෙසත් බලාගෙන ඉන්නවා. දර්ශනී පිටතට එන්න ප්‍රමාද වුනු නිසාම කෙල්ලත් එක්ක ප්‍රියංකාත් රෝහල් කාමරය ඇතුලට ආවා. 


නැවත හමුවෙමු ...

Comments