නීල නයනී 17
නීල නයනී
17_කොටස
( කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සති දෙකක් ම ගත වුනේ නිමන්ත වගේ ම වේනූෂ්ත් තරමක් සුව අතට හැරෙමින්. ඔවුන් රෝහලෙන් පැමිණ නිවසේ සිට ම වෛද්‍යවරුගේ උපදෙස් අනූව විවේකීව ගත කරමින් හිටියා. ඒ සති දෙක පුරාවට වර්ශා නිමන්තගේ නිවසට ම පැමිණ ඔහු ගැන නිතර හොයලා බැලුවා. නිමන්තටත් පවුලේ හැමෝටමත් ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණේ.
" ඈ බං ලොකු පුතේ ... අර දොස්තර නෝනා මෙහෙට එන එක ගැන මොනවා හරි දන්නවා ද ... "
නිමන්තටත් දෙන්න උත්තරයක් නෑ. හැම දවසක ම ඔහු ව බලන්න ඇය ආවා. නිමන්ත ගෙදර අයට හොරෙන් දවසක් මේ ගැන ඇයගෙන් ඇහුවත් ඇය සිනාසුනා පමණයි. දැන් දැන් නිමන්තත් ඇය එනකන් මග බලන් ඉන්න පුරුදු වෙලා. සුගතපාලත් ඇය වෙනුවෙන් බැද්දේ තියෙන රස පලතුරු ජාති ඇය වෙනුවෙන් රැගෙන එන්න පටන් අරන් තිබුණා. කුඩා දරුවෙකු සේ ඇය එය ආසාවෙන් තුරුලු කරගෙන රැගෙන යන හැටි සුගතපාලත් නිවසේ අනෙක් උදවියත් බලන් හිටියේ සතුටින්.
" මං දන්නේ නෑ තාත්තේ ... "
" මං ඇහුවමත් හිනාවෙනවා විතරයි ... "
තරමක් වැවී තිබුණු රැවුල අතගාමින් කල්පනා කරන ගමන් තමයි නිමන්ත එහෙම කියන්නේ.
" ඒත් දවසක් කිව්වා මට හොද වුනාම ඒකට උත්තරේ දෙන්නන් කියලත් ... "
තම පියා ඒ ගැන හුගාක් හිතනවා කියන එක ඒ බැරෑරුම් පෙනුමෙන් ම නිමන්තට තේරුනා.
" ඒත් ඕවා කොහෙන් කෙලවර වෙයි ද ලොකූ ... "
නිමන්ත කොල්ලෙක් ඇයගේ හැසිරීම් වලින් ඔහුට නොතේරුණාම නෙමෙයි ඇය තමන් ගැන උනන්දු වෙන බව. ඒත් ඔහු ඉක්මන් වුනේ නෑ ඒ ගැන හරි තීරණයකට එන්න.
" එයාගේ ගෙදර අයත් ඔය දන්නවා කිව්වේ මෙහේ යන එනවා කියලා ... "
" මට බේත් කරන ඩොක්ටර් නිසා මං සද්ද නොකර ඉන්නේ ... "
" අපි බලමු තාත්තා එයා ලගදීම මට ඒක කියයි දැන් ටිකක් හොද නිසා ... "
සුගතපාල හිස වනමින් නිමන්ත දිහාත් බලලා කොල්ලාගේ කාමරයෙන් පිටතට ගියා. නිමන්තට සැනසුම් සුසුමක් හෙලුනේ පියාගේ ප්‍රශ්න වලින් යාන්තමට බේරුනු නිසා. ඔහු හිතටත් දැන් ඇයගේ මේ සැලකිලි වදයක් වෙලා තිබුණේ.
" අයියා ... අරුණලී ඔයාව මතක් කලා කියන්න කිව්වා ... "
" තව නිවාඩු දවසට ඔයාව බලන්න එන්නන් කියලත් කිව්වා ... "
පරිගණක පාඨමාලාවට ගිහින් එද්දි නිමන්තගේ සොහොයුරා වු නිමංකට ඇයව මුණ ගැසුනා. ඒ රකේල් එක්ක රෙස්ටුරන්ට් එකකට යද්දි. නිමංක හිටියෙත් ඒ රෙස්ටුරන්ට් එකෙන් පිටතට එන ගමන්.
" එයාට දැන් අපිව බලන්න එන්නත් වේලාවක් නෑනේ ... "
නිමංක නෝන්ඩියට වගේ හිනාවෙද්දි නිමන්ත රැව්වේ තමා ආරූට ආදරේ කල බව ඔහු දැන ගෙන හිටිය නිසයි.
" අතට ගත්ත දේ කටට දාගන්න බැරි ත/මු/සේ ඔහොම කියලවත් දැන් හිත හදාගන්නවා ... "
" අඩු ම තරමේ අර මෙහෙට නිතර දෙවේලේ බෙහෙත් පෙත්ත වගේ එන දොස්තර නෝනාවත් දා ගන්නවා ... "
" පුලුවන් නම් ඒ මැණිකටත් කණා වගේ පයින් ගහලා දානවා ... "
නිමන්තගේ හිතට වේදනාවක් අරුණලීව මතක් වෙද්දි. ඇයගේ සතුට ලග නිශ්ශබ්ද වුනාට ඒ ආදරේ සුලුපටු නෑ. ඔහු අහක බලාගෙන සුසුම් හෙලන්න ගත්තේ ඇය වට කොට මැවු හීන එකින් එක තම මතකයට එද්දී.
" අතට ගත්ත දේ කටට දාගන්න බැරි වුනා කිව්වේ මොකක් ද නිමංක මල්ලි ... "
නිමන්තව බලන්න ඔහුගේ කාමරයට එමින් හිටිය වර්ශාට ඔවුන් කතා වුනු ඒවා ඇහුනා.
" නෑ ... අක්කා අපේ අයියාගේ ඇස් පේන්නේ නැද්ද කෙහෙද දැන් ... "
" මං දුන්නු බෙහෙත් පෙත්තත් වැට්ටුවානේ ... "
නිමන්තට නොරිස්සුමක් දැනුණේ අවසර නොගෙන ඔහුගේ කාමරයට ඇය ආව එකට. ඒ තරහට ම ඔහු ඇය දිහා හැරිලාවත් බැලුවේ නෑ. ඒකට නම් ඇයගේ හිත හුගාක් රිදුනා.
" අක්කේ ... මෙයාගේ ඇස් දෙකත් ටිකක් බැලුවා නම් හරි ... "
නිමන්තගේ කේන්තිය ගණන් ගන්නේ නැතුව එහෙම කිව්ව නිමංක දත්මිටි කමින් තමන් දිහා බලන් ඉන්න තම සොහොයුරාට ඇහැකුත් ගහලා ඔහුගේ කාමරයෙන් පිටවුනා.
" ඔයා හුගාක් කේන්තියෙන් ... "
" ඇයි මේ ... "
කොල්ලාගේ අතක් තම අතින් පිරිමදිමින්මයි වර්ශා එහෙම ඇහුවේ. ඒකෙන් වුනේ නිමන්ත කේන්තිය තවත් වැඩි වුනු එක.
" ඩොක්ටර් හැම ලෙඩෙක්ගෙම ගෙදර ගිහින් මෙහෙම බලනවා ද ... "
කේන්තියට බැන වදින්න හිතුනත් තමන්ට ප්‍රතිකාර කල වෛද්‍යවරිය නිසා ඔහු තව ටිකක් ඉවසුවා.
" අනේ නෑ ... එයාලා එන්නේ මගේ ක්ලිනික් එකටනේ ... "
පියකරු සිනහාවකින් ම ඇය එහෙම කියද්දි නිමන්ත ඇය දිහා බලලා හිනා වුනේ සමච්චලයට වගේ.
" එතකොට මාව බලන්නත් මෙහෙට එන්නත් හේතුවක් ඇතිනේ නේද ... "
" අනික ඩොක්ටර් ආවේ කොල්ලෙක්ගේ කාමරේට අවසර නොගෙනමනේ ... "
වර්ශා වේදනාවෙන් බැලුවේ ඔහුගේ මුවේ ඇදුණු සමච්චල් හිනාව දිහා. ඒ ඇස් වලින් කදුලු බිදු එක දෙක වැටෙද්දි ඇය සමග තරහෙන් හිටිය නිමන්තගේ මුවේ ඇදුණු සමච්චල හිනාව වියැකිලා ගියා.
" අහ් ... ඇයි ... ඇයි ... ඩොක්ටර් අඩන්නේ ... "
වර්ශා ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ටේ එතනින් පිටවෙන්න හිතාගෙන. ඒත් ඇය අසල ම ඇදේ හිටිය නිමන්ත සුව වෙමින් තිබුණු අතින් ඇයගේ අතක් ඒ විසල් අතකට මැදි කරගත්තේ වර්ශාගේ කදුලු පිරුණු ඇස් පුදුමයෙන් පිරෙද්දි.
" මොකද එකපාරට ම වුනේ ... "
වර්ශා ඒ ඇස් බිමට යොමු කරගෙන කතා නොකර හිටියේ හිතට දැනෙන කලකිරීමත් එක්ක. කොයිතරම් ඔහු වෙනුවෙන් පේ වුනත් ඔහුගේ ඇස් වල විශේෂයක් ඇය දැක්කේ නෑ. ඉතින් ඇය හිටියේ හුගාක් හිත රිද්දගෙන. අද ඔහු ඇයව මෙසේ හෑල්ලුවට අරන් කතා කරද්දි ඇයගේ ආදරේ ගැන දුකක් අනුකම්පාවක් ඇයට දැනුණේ.
" හිත රිදුනත් මං ඇත්ත කිව්වේ ඩොක්ටර් ... "
" කෙල්ලෙක් වුනාම කොල්ලෙක්ගේ කාමරයට එද්දි කතා කරලා නේද එන්න ඕන ... "
වර්ශා ඔහුගෙන් අත මුදව ගෙන ඒ කදුලු පිරුණු ඇස් වලින් ම නිමන්ත දිහා බැලුවා.
" මට වැරදෙන්න ඇති මහත්තයෝ ... "
" මං හිතුවේ මං ඇවිත් නැවතුනේ හරිම තැන කියලා ... "
නිමන්තගේ ඇස් ගැස්සුනා ඇයගේ කදුලු පිරුණු සෘජු බැල්ම ලග. හිතට අමුතුම හැඟීමකින් වද දෙන්න ගත්තා ඇය ගැන. ඒත් ඔහුට නොතේරෙන ඒ හැඟීම ඔහුව තව තවත් නොසන්සුන් කරනවා.
" සමාවෙන්න අවසර නොගෙන ඇතුලට ආවාට ... "
" මගේ කියලා මං හිතුවාට ඒ හිත වෙන කාගෙවත් මහත්තයෝ ... "
" ආයේ නොඑන්නම යන්නම් ... ඒත් ක්ලින්ක් එකට එන්න තව ටික දවසක් ... "
කෙල්ල අඩි කිහිපයක් අසීරුවෙන් තබද්දි නිමන්තට දැනුණේ තමන්ගේ ඇගේ කොටසක් ඉවත් කරනවා වගේ වේදනාවක්.
" වර්ශා ... "
ප්‍රථම වතාවට ඇයගේ නමින් ඔහු අමතනවා. ඒත් ඇස් තද කරගෙන ඇය සිටි තැනම ඔහුට පිටුපාල ඉන්නවා.
" තවත් මාව පිස්සෙක් කරන්නේ නැතිව ඔය හිතේ තියන් ඉන්න රහස් ඔක්කොම කියන්න ... "
" මොකද මේක මගේ ගෙදර අයටත් තියෙන ප්‍රශ්නයක් ... "
වර්ශා ඔහු දෙසට හැරුණේ ඔහු එහෙම කියද්දියි. කෙල්ල පසුතැවුනා හිතේ තියන දේ නොකියා ඔහුවත් පවුලේ අයවත් අපහසුතාවට පත් කල එකට.
" මං හැමදේම කියන්නම් මහත්තයෝ ... "
" මට හරි උත්තරයක් දෙන්න ඊට පස්සේ ... "
කෙල්ල නිමන්ත ලග ම තිබුණු පුටුවෙන් වාඩි වෙලා දිගු සුසුමක් පිට කරමින් තම හඩ අවදි කලා.
•
•
•
වේනුෂ් හිටියේ රෝද පුටුවට වෙලා සැදැල්ලෙන් පෙනෙන මාවත දිහා බලා ගෙන. තමන් කව්ද කියලා දන්නවා වුනත් මහා හිස් බවක් හැමවේලේම ඒ හිත තුල තිබුණා.
" පුතා ... මොකක්ද මේකේ තේරුම ... "
" ඇයි රූම් එකෙන් එලියටවත් යන්න කැමති නැත්තේ ... "
පුරුදු විදියට ම වේනූෂ්ගේ මුවේ ඇදුණේ මදහසක්.
" අප්පච්චිට මං අදත් කියන්නන්කෝ ... "
" මං හුගාක් සතුටින් මෙතනට වෙලා අර ඈත පේන දේවල් දිහා බලන් ඉන්නේ ... "
" මට මතක හැටියට කවදාවත් මං ජිවිතේ මේ වගේ සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉදලා නෑ ... "
රමේෂ් තම පුතු දිහා බලන් හිටියේ වේදනාවෙන්. වෛද්‍යවරුන්ගේ නිගමනයට අනූව අනතුරෙන් සිදු වු කොන්දේ අබාධය නිසාම වේනූෂ් තව සුලු කාලයක් රෝද පුටුව භාවිතා කල යුතු බවයි. නිවසට ආ දින සිට ඔහු කාමරයෙන් පිටතට නොගිය තරම්. රමේෂ් වගේම සංගීතාත් හිටියේ ඔහුගේ මේ වෙනස් වීම දරා ගන්න බැරිව. ඔහුගේ කාමරයට එන්න අවසර තිබුණෙත් මවටත් පියාටත් විතරයි.
" රාජකාරී වලට ම ගෙවිලා ගිය කාලේ මට වේලාවක් තිබුණේ මේ ලස්සන දකින්න ... "
" ඉතින් අප්පච්චි මං ඒ සැනසීම මෙහෙම විදින එක හොද නැද්ද ... "
රමේෂ්ගේ මුවෙන් සුසුමක් පිටවුනේ ඔහුගේ වචන දරාගන්න බැරිව වගේ.
" අනික ඒ සැනසීමට කවුරුත් බාධා කරනවාට මං කැමති නෑ අප්පච්චි ... "
" විශේෂයෙන් මලිතිව මගේ රූම් එකට එවන්න එපා ... "
" ඒ වගේ පොඩි කෙල්ලෙක්ගෙන් උදව් ගද්දි මට මේ රෝද පුටුවටත් වෛරය කරන්න හිතෙනවා ... "
වේනූෂ් කැමති වුනේ නෑ මලිතිගෙන් කොයි මොහොතකවත් උදව් ගන්න. ඒ නිසාම රමේෂ්ට නිවසින් බැහැරට යන්න අවස්ථාවක් ලැබුණේ ම නෑ.
" හරි ... හරි ... ඔයා මාත් එක්කවත් අද පහලට යමුකෝ පුතා ... "
" අම්මා හුගාක් දුකින් ඉන්නේ ඔයාව දකින්න නැති එකට ... "
වේනූෂ්ගේ හිත උණුවෙන්න ඒ වචන ටික ඇති. මව නිසාම පියාගේ උදව්වෙන් වේනූෂ් පහලට ආවා.
" මගේ රත්තරං ... දවස් කීයකට පස්සේ ද මගේ පුතා පහලට ආවේ ... "
කොල්ලාට දුකයි අම්මත් ඔහුත් රෝද පුටුවේ ඉද්දී. මවත් පියාත් බලන්න ඕන කාලේ ඔහුව බලා ගන්න වෙන එක ඔහුගේ හිතට වදයක්.
" හොද වුනාම මං හැමවේලේ ම අම්මා ලග ම ඉන්නන්කෝ හොදේ ... "
මවගේ හිස පිරිමදිමින් වේනූෂ් එහෙම කියලා රමේෂ්ගේ උදව්වෙන් කෑම මේසයේ පුටුවක ඔහු වාඩි වුනා. මේ හැමදේම දිහා මලිති බලන් හිටියේ වේදනාවෙන්. ඇයවත් දන්නේ නෑ ඒ ඇයි කියලා.
" කෝ ... අම්මා නීලාම්මා ... "
නීලානි කෑම මේසේ ලගට ආවේ නෑ ඇයට ඇඩෙයි කියන බයට. ඔහු තමන්ටවත් උදව් කිරීමට ඉඩ නොදුන් එක ඇයට වේදනාවක්. ඇය වේනූෂ්ව බලා ගත්තේ තමන්ගේ දරුවෙක් වගේ. ඉතින් ඔහු ඇයව ඈත් කලා ම කල් ගෙව්වේ නිතර ම කල්පනා කරමින්. මලිති කොයිතරම් ඇයගේ හිත හැදුවත් නිලානීට පුලුවන් වුනේ නෑ දරුවෙක් වගේ ඉන්න ඔහුගේ වෙනස් වීම දරා ගන්න.
" හරි ෂෝක් අහන හැටි ... "
" නීලාට වත් කාමරේ පැත්තේ එන්න දුන්නා ද ඔයා ගැන බලන්න ... "
" ඒ මනුස්සයා මේ ටිකේ ම හිටියේ හූල්ල හූල්ල ... "
" දැන් බොරුවට අහනවා ... "
කොල්ලා ඉවත බලා ගත්තේ ඇස් වලට කදුලු උණන්න හදද්දී. ඔහුත් එහෙම කලේ බොහෝම අමාරුවෙන් කියන එක දන්නේ ඔහුම විතරයි. හැමෝම තමන් දිහා අනුකම්පාවෙන් බලයි කියලමයි ඔහුට හිතුනේ. ඒකට ඔහුගේ හිත කැමති වුනේ නෑ.
" අද අරුණලී දුවත් එනවා කිව්වා ඔයාව බලන්න ... "
" දැන් මග එනවත් ඇති ... "
ආරූගේ අද නිවාඩු දවස නිසා ම මවත් සමග ඇය ලෑස්ති වෙලා ආවේ ඔහුගෙත් සංගීතගෙත් සුව දුක් බැලීමටයි.
කොල්ලාගේ ඇස් දිලිසෙන හැටි රමේෂ් බලන් හිටියේ වේදනාවෙන්. තම දරුවා මිරිගුවක් පස්සේ දුවයි ද කියන බය ඔහුගේ හිතේ හැමවේලේම වැඩ කලා. ආරූගේ නම ඇහෙද්දි ඒ ඇස් වල කතාවට රමේෂ් බයයි. ඔහුට තේරුම් කරන්න අපහසුයි ඔහු ඉන්න තත්වයත් එක්ක.
" එහෙනම් අපි එයාලා ආවාම කමු ද අම්මා ... "
කෑම මේසයට වතුරු ජෝගුවක් අරගෙන එමින් සිටින මලිතිගේ දෙපා ගල් වෙලා වගේ ගියා වේනූෂ්ගේ හඩේ තිබුණු උද්යෝගයට. ඒ වෙනස එතන හිටපු හැමෝට ම තේරුනා. සංගිතාත් රමේෂුත් මුහුණට මුහුණ බලා ගත්තේ හුගාක් සතුටින් කතා කරන තම පුතු ගැන පුදුමයෙන්.
" ආව ද කොහෙද ... "
නිවසේ ගේට්ටුව ඇරෙන ශබ්දයත් එක්ක වේනූෂ් කලබලයෙන් ම එහෙම කියලා කෑම කාමරයේ දොර දිහාට ඈස් අලවගෙන හිටියා.
" කොහොමද ආරූ පුතේ ... "
ඔවුන්ගේ පැමිණිම නිසාම නිවසේ ප්‍රධාන දොර ඇරුණේ මලිති අතින්. ආරූ මලිති සමග කතා කර කරම කෑම කාමරයට ම ආවා.
" අපි හොදින් මැඩම් ... "
සංගීතාගේ මුවේ ඇදුණු තරවටු බැල්මත් එක්ක මදහසකින් ම කෙල්ල තම හඩ අවදි කලා.
" කොහොමද වේනූෂ් අයියේ දැන් ... "
ඔහුගේ ඇස් හුගාක් වෙහෙසෙනවා ඇයව මේ තරම් දැනෙන්නට හේතු සොයමින්. ඇයගේ වතේ හැම බිං අගලක ම ඇස් ගියත් ඔහුට ඒකට උත්තර ලැබුණේ නෑ. ඔහු කනස්සල්ලෙන් ඉද්දියි කෙල්ල ඔහුට කතා කලේ.
" මං හොදින් ආරූ නංගි ... "
" වාඩි වෙන්නකෝ අපිත් එක්කම උදේට කමු ... "
කෙල්ල වගේ ම දර්ශනීත් උදෑසන ආහාරය ගෙන පැමිණි නිසාම ඔහුගේ ආරාධනය බොහෝම විනීතව ප්‍රතික්ශේප කලා. ඒත් කෙල්ලට නම් ඔහුගෙන් බේරුමක් ලැබුණේ නෑ. ඒ වෙනුවට ඔහුට කෑම කවන ලෙස ඇරයුමක් ලැබුනා. කෙල්ල ගැස්සිලා වගේ බැලුවේ තම මව දිහා.
" අනේ ... ඒ දරුවාට වද දෙන්න එපා පුතා ... "
" කෝ එන්න මං කවන්න ... "
කෙල්ලගේ අපහසුතාව තේරුම් ගන්න සංගීතාට පුලුවන් වුනා. කොල්ලා අකමැත්තෙන් වුනත් සංගීතා අතින් කෑම කන්න ගත්තා.
" මලිති දුවේ ... යාලුවට තේ ටිකක් ලෑස්ති කලානන් ... "
ආරූගෙන් මිදිලා මලිති මුලුතැන්ගෙට පිට ව යද්දි වේනූෂ්ගේ ඇස් නිතර ම ලුහුබැන්දා ආරූ වෙතටයි.
කෑම කා අවසන් වී සියලු දෙනා ම සතුටු සාමිච්චියේ යෙදෙද්දි කෙල්ලට ඇමතුමක් ආවේ රකේල්ගෙන්.
" හෙලෝ ... "
සියලු දෙනාගෙන්ම මිදි කෙල්ල ගාර්ඩන් එකට ආවේ රකේල්ගේ යකා ගස් නැගලා ඇති කියලා දන්න නිසාමයි.
" මං ඉන්නේ ගේට්ටුවෙන් එලියේ ... තව විනාඩි දහයකින් ත/මු/සේ එලියට එන්න ඕන හරි ද ... "
" අම්මාව ප්‍රමේෂ් ගෙදරට ගිහින් දායි ... "
කෙල්ලව දැන් ගැහෙනවා. කොල්ලාට කෙටි පණිවිඩයක් පමණක් තබා වේනූෂ්ගේ නිවසට ආවේ ඔහු ගෙදරින් පිට යන්න අවසර නොදෙන නිසාමයි.
" හා ... මං එන්නන් ... "
එපමණකි. ඇමතුම විසන්ධි වෙලා ගියේ කෙල්ලට කනට පහරක් ගැහුවා වගේ. වෙනදාට කතා කරන ආදරණීය ඇමතුම් අද කිසිවක් නෑ. බරැති සුසුමක් ඇයගේ මුවින් පිටවෙද්දි ආරූ පය ඉක්මන් කලේ මවට කියා ඉක්මණින් වේනූෂ්ගේ නිවසින් පිට වෙන්න හිතාගෙනයි.
" අම්මා ... චුටි මහත්තයා ඇවිත් ... "
" ඔෆිස් එකේ ෆයිල් වගයක් මං ලෝකර් එකේ දාලා ආවේ ... "
" එකේ යතුර මං ලග ... "
" හදිස්සි ෆයිල් එකක් නිසා මං ඒ ටික පිලිවෙලක් කරලා දීලා එන්නන් ... "
දර්ශනීගේ හිතට නොරිස්සුමක් දැනුණත් එය නොපෙන්වා ඔලුව හොලවලා විතරක් පිලිතුරු දුන්නා.
" ප්‍රමේෂ් මහත්තයා එයි අම්මාව එක්ක යන්න ... "
කෙල්ලට ඒ ටික කියලා ඉවර කරන්නවත් ලැබුණේ නෑ වේනූෂ්ගේ සරදමෙන් පිරිච්ච ඒ හිනාවත් එක්ක කියපු දේවල් නිසා.
" අම්මාව අපි එවන්නේ හවසට තමයි ... "
" ඔය නෝනාටත් ගිහින් එන්න වේලාවක් තිබුනොත් මෙහෙටම එන්න ... "
කෙල්ලත් අසරණයි රකේල්ගේ නපුරුකම් එක්ක. ඇය හැමෝගෙන් ම සමුගෙන වේනූෂ්ගේ නිවසින් පිටවෙද්දි වේනූෂ් අතමිටි මොලව ගත්තේ රකේල් ගැනත් ඒ හිතට තරහක් දැනෙද්දි.
" මහත්තයා ... "
ඇස්පියාගෙන සිට් එකටත් ඔලුව හේත්තු කරගෙන හිටිය රකේල් කෙල්ලගේ හඩින් ගැස්සිලා වගේ ඇස් ඇරියා.
" දොර ලොක් කරලා ... "
කෙල්ල එහෙම කියද්දී කෙල්ලට රවාගෙනම රකේල් කාර් එකේ දොර ඇරලා ඇයට ඇස් වලින් නගින්න කිව්වා. කලබලේට නගින්න ගිහින් කෙල්ලගේ ඔලුවත් වැදුනා කාර් එකේ දොරේ.
" ආහ් ... "
ඉබේම ඒ මුවින් වේදනාත්මක කෙදිරියක් පිටවෙද්දි.
" මොකද හදිස්සිය ... හිමීට නගින්න බැරිද ... "
කෙල්ලගේ ඔලුවේ වැදුනු තැන අතගාමින් සැරෙන් වගේ රකේල් එහෙම කියද්දි හිසේ කැක්කුමට වඩා ඔහුගේ නපුරුකමට කෙල්ලගේ ඇස් වලට කදුලු ආවා.
නැවත හමුවෙමු ...
Comments
Post a Comment