නීල නයනී 3


නීල_නයනී


3_කොටස


(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••


" දුව ... ඇතුලට යන්න ... "


" සර්ට කියන්න හැමදේම ... "


චන්දනට දුක හිතුනා වේනූෂ් ඇය වන් අහිංසක දරුවෙකුට කොහොම කතා කරාවී ද කියලා හිතෙද්දි.


කෙල්ලගේ ඇස් වලින් කරන ආයාචනය චන්දනට තේරුණත් ඔහු ඇස් වලින් කිව්වේ ඇතුලට යන්න කියන එක විතරයි. බයෙන් බයෙන් වේනූෂ්ගේ කැබින් එක ඇතුලට ගිය කෙල්ලට දැක ගත හැකි වුයේ සැප පහසු පුටුවක වාඩිවෙලා වේනූෂ් පැද්දි පැද්දි තමන් දිහා සෘජු බැල්මෙන් බලන් ඉන්න විදිය. ඇය ඒ ඇස් බැල්මෙන් මිදිලා බිම බලාගත්තේ ඔහුගේ පෞරුෂය ලග කෙලින් බැලීමට තරම් ශක්තියක් ඇයට නැති නිසා.


" වාඩි වෙන්න ... "


කෙල්ල ඇස් උස්සලා බැලුවේ ඒ නිවුනු හඩ කාගෙද කියලා හිතාගන්න බැරිව. වේනූෂ්ගේ මුව මත සිනාවක් ඇදිලා මැකිලා ගියේ ඇයගේ හුරතල් වතේ ඇදුණු කුතුහලය දැකලා.


" මං ඔයාට ළමයෝ වාඩි වෙන්න කිව්වේ ... "


කෙල්ල හනිකට පුටුව ඇදලා වාඩි වුනේ අතේ තියෙන කිරි බෝතල් දෙකත් තුරුලු කරගෙන.


" කියන්නකෝ ඇයි තනියම මේ වගේ තැනකට ආවේ කියලා ... "


ඔන්න එතකොට තමයි කෙල්ලට තමන් ගැනම තරහක් ආවේ. තමන්ගේ පොඩි ප්‍රමාදයකින් කාගේ හෝ ජිවිතයකට අනතුරක් වෙන්න පුලුවන් නේද කියලා.


" සර් ... මං හැමදාම උදේට කිරි ගෙනත් දෙනවා හතර වෙනි පටු මගේ තියෙන සංගීත මැඩම්ලාගේ ගෙදරට ... "


" අද මං එහෙට ගිහින් ගේට්ටුව ලග ඉදලා කතා කලත් කවුරුවත් ආවේ නෑ ... "


එහෙම පටන් අරගෙන තමන්ගේ පස්සේ පන්නපු මනුස්සයාගේ පෙනුමත් ඔහු අතේ තිබුණු ආයුධය ගැනත් කෙල්ල බිදුණු හඩින් කියාගෙන ගියා. ඒ ටික ඇහෙද්දීම වේනූෂ් පුටුවත් පස්සට කරගෙන නැගිට්ටේ කලබලයෙන්.


ඔහු කෙල්ලව පරිස්සමට නිවසට බාරදෙන්න කියලා කාන්තා කොස්තාපල්වරියකට ඇයව බාර දීලා චන්දන ඇතුලු කණ්ඩායමක් එක්ක පොලිස් ජිප් වල නැගලා පුදුම වේගයකින් ඇය පැමිණි දෙසට ධාවනය කලා.


කෙල්ලට හරි වැරැද්ද නොතේරුනත් ඇයගේ පරමාර්ථය වුනේ කාගේ හෝ ජිවිතයක් රැක දීමට ලැබුණු අවස්ථාවට මූණ දීමයි.


පොලිස් ජිප් රියක් ඇවිත් තමන්ගේ නිවසට එන කඩුල්ල ලග නවත්තද්දී දර්ශනීගේ හිතට ගෙදරින් පිට ගිය කෙල්ල ගැන බියක් දැනුණා. ඇය අතුගාග හිටිය ඉදලත් බිම දාලා කඩුල්ල ලගට දිව්වේ ජිප් එකෙන් බහින කෙල්ලව දකිද්දීයී.


" මොකද වුනේ මගේ රත්තරනේ ... "


" උබ හොදින් නේද ... "


කෙල්ලගේ හිසේ සිට පාදය තෙක් පිරික්සමින් දර්ශනී එහෙම අහද්දී කෙල්ල ඔලුව විතරක් වැනුවේ මුකුත් වුනේ නෑ කියන්න වගේ.


" සර් ගෙනුත් අහලා අපි විස්තරයක් කියනකන් ඔය ළමයා ගෙදරින් පිට යන්න එපා හොදද ... "


" ෆෝන් නම්බර් එකක් තියෙනවනම් මට දෙන්නකෝ ... "


බයටම කෙල්ලගේ මුව ගොලු වෙද්දී දර්ශනී තමයි පොලිස් නිලධාරිනියට තම නිවසේ දුරකථන අංකය ලබා දුන්නේ. ඔවුන් පිටව ගිය පසු කෙල්ලව නිවසට රැගෙන ආව දර්ශනී දොරත් වහලා. ඇයව සෙටියේ වාඩි කරවා මුකුත් නොකියා කෑම කාමරයට ගියා.


" මේක බීලා හිටින් ... "


දර්ශනී දැක්කා කෙල්ලගේ අතැගිලි පවා වේවුලනවා. ඒ නිසාම ඇය වතුර වීදුරුව කෙල්ලට පෙව්වා.


" මොනාද වුනේ පුතේ ... "


කියන්නට අකැමැති සිද්ධියක් වුනත් තම මවට නොකිය බැරි නිසාම නැවතත් ඇය අත්වින්ද ඒ බියජනක මොහොත ගැන දර්ශනීගේ පපුවට තුරුලුව අඩ අඩම කෙල්ල කියාගෙන ගියා.


" දෙයියනේ ... මගේ රත්තරනේ ... උබ බේරිලා තියෙන්නේ පූරුවේ වාසනාවකට. කව්ද දන්නේ ඔය මොන වගේ මිනිස්සුද කියලා. අපිට උසාවි ගානේත් බඩගාන්න වෙයිද මන්දා ... "


අම්මා කෙනෙක් එහෙමයි. කෙල්ල කලේ කොයිතරම් හොද දෙයක් වුනත් තම දරුවාගේ ජිවිතය ගැන බියක් දැනෙද්දි ඇය කල හොදත් නරකට පෙනෙනවා. කෙල්ල හොර බැල්මක් දැම්මේ මවගේ බැරෑරුම් පෙනුම දිහාට.


" පිරිමියෙක් නැති ගෙදර මං කොහොමද පුතේ ඔය නපුරු මිනිස්සුන්ගෙන් උබව රකින්නේ ... "


දර්ශනී ඔලුවේ අත ගහගෙන ඇය අසලින් ම වාඩි වුනේ කෙල්ලටත් තමන් කරපු දේ ගැන බරපතලකමත් දැනෙද්දී. ඒත් ඇය හිතුවේ තමන් කලේ හරි දෙයක් නිසා තමන්ව මරලා දැම්මත් කමක් නෑ කියලා. කරදරයක් වුනාම අහක බලන මිනිස්සුන්ට කවදාවත් තම හෘද සාක්ෂියෙන් ගැලවීමක් නෑ කියලා ඇය දන්නවා. පසුවට පසුතැවිලි නොවී පුරුදු විදියට ජිවත් වෙන්න ඕන කියලා කෙල්ල ඒ මොහොතේම හිතාගත්තා.


" අම්මා ... මනුස්සයෙක්ට කරදරයක් කියලා දැන දැන මට බෑ අහක බලාගෙන ඉන්න. අද මැරුණත් මැරෙන්න ඕන හරි දේ කරලා මිසක් බොරු ශ්‍රද්ධාවක් හිතේ මවා ගෙන නෙමෙයි. මං දන්නවා මං කෙල්ලෙක්. ඒත් අද එයාලාට වෙච්ච දේ කාත් කවුරුත් නැති අපිට වුනා නම් වටේ ඉන්න මිනිස්සුත් අපිට උදව් නොකර අහක බලාගෙන ගියොත් හරිද. අපි එන විදියට මූණ දෙමු අම්මා ... "


කෙල්ල මවගේ හිසත් සිපගෙන ගෙයින් එලියට ආවේ ඇය පෙරදින කෙටූ පාත්ති වල බෙල් පෙපර් ඇට යට කිරීමට සිතා ගෙනයි. ඈ යන මග දෙස බලාගෙන දර්ශනී හීල්ලුවේ ඇස් දෙක වගේ ඇයට ඉන්න දරුවාව තමන්ට ආරක්ෂා කරලා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලමින්.



 ගත වු පැය කිහිපයම ආරූ සුපුරුදු පරිදි තමන්ගේ වැඩ වල නිරත වෙද්දි ප්‍රියංකා කෙල්ලගේ නිවසට ගොඩ වැදුනේ උදේ කෙල්ල ගෙනාව කිරි වලටත් ඉදි ආප්ප වලටත් සල්ලි දෙන්න හිතාගෙන.


" ඒ කොහෙද බං අම්මා ගියේ ... "


" මාර පිලිවෙලයි නේද බං වත්ත ... "


රකේල් වගේම ප්‍රමේෂුත් ප්‍රියංකා එක්ක කොල්ලාගේ අත්තම්මා බලන්න යන්න ආවේ. ඒ යන අතරමගදී තමයි ප්‍රියංකා කාර් එකෙන් බැහැලා කෙල්ලගේ ගෙදරට ගොඩ වුනේ.


" ඒ යමුකෝ බං චුට්ටක් බලලා එන්න ... "


" මේ වගේ ලස්සන තැනක් මිස් කරගන්න එක අපි ඇස් වලට කරන අසාධාරණයක් යකෝ ... "


ප්‍රමේෂ් නම් වත්තේ ලස්සන වගේම කෙල්ලගේ වත්තේ තිබුණු ඉදිලා රතු වෙලා තිබුණු ජම්බු ගහටත් ඇහැ ගහගෙන හිටියේ.


" යමන් ... මටත් ආස හිතුනා ... "


කොල්ලා කියන පමාවට ප්‍රමේෂ් කාර් එකෙන් බැහැලා අඩියක් ඉස්සරහාටත් තියලා ඉවරයි. කටකොනකට නැගුණු සිනහවත් එක්ක කොල්ලාත් පියවර තිබ්බේ මල් වගේම එලවලු පලතුරු වලින් පිරිලා තිබුණු වත්ත දිහා ආසාවෙන් බලමින්. රකේල් නපුරු අහංකාර චරිතයක් වුනත් ගැමි සුන්දරත්වයට හුගාක් ආස කරපු කෙනෙක්. කුඩා කල අහිංසකව සිටි ඔහුව සම්පුර්ණයෙන් වෙනස්ම මනුස්සයෙක් බවට පත් වුනේ අතීතයේ පියාගෙන් ලැබුණු තාඩන පීඩන වල ප්‍රතිඵලයක් ලෙසයි. එයින් හුගාක්ම පිඩා වින්දේ අහිංසක ගැහැණියක් වුනු ප්‍රියංකායි.


" ආන්ටි ... මේ ... මේ ... ජම්බු ගෙඩියක් එහෙම කෑවාට කමක් නැද්ද දන්නේ නෑ ... "


ප්‍රියංකාගේ කැදවීමෙන් එලියට ආවා දර්ශනීගෙන් ප්‍රමේෂ් එහෙම අහද්දී ප්‍රියංකාට හිනත් එක්ක. කරදඩු උස් මහත් වුනාට තවම පොඩි උන් වගේ නේද කියලා දර්ශනීටත් හිතුනා. ඇය මදහසකින්ම ඔහුට අවසර දුන්නේ ඒකයි.


" අනේ ... කඩාගෙන කන්න චුටි මහත්තයෝ ... "


රකේල්ට ලැජ්ජත් හිතුනා දුප්පත් ගෙදරකට ඇවිත් ප්‍රමේෂ් ජම්බු ඉල්ලුවාම. ඔහු අහංකාරකමින් ම තම මව දෙසට හැරුණේ දර්ශනීව ගණන් නොගෙනමයි.


" යන් ද අම්මා ... "


" මට පරක්කු වෙනවා ... "


දර්ශනීගේ හිත හුගාක් රිදුනා. ඇය රකේල් සමඟ සිනාසුණත් ඔහු ඇයව ගණන් නොගත්ත එකට. මනුස්සකමට හිනාවෙන්නවත් ඔහු දන්නේ නෑ. දර්ශනීගේ හිතෙත් ඔහු ගැන පැහැදීමක් ඇති වුනේ නෑ.


" දර්ශී ... මේ මගේ පුතා රකේල් ... "


" මං අසනීප වෙලා හොස්පිට්ල් නවත්තලා ඉද්දි අර කෙල්ලගේ කිරි ටික බීලා සතියක්ම චන්ඩිකම් කලේ මෙන්න මෙයා තමයි ... "


දර්ශනීට පුංචි කාලේ රකේල් හුගාක් ආදරේ කලා. ඒත් දැන් ඉන්නේ ඒ දරුවා නෙමේ කියලා ඇයට හිතුනා. රකේල් පිලිකුලින් දර්ශනී දෙස බලද්දි ඇය අසීරුවෙන් ඒ මුවට මදහසක් නගා ගත්තා.


" උදේ ගෙනවා ඉදි ආප්ප වලයි කිරි බෝතල් දෙකෙයි සල්ලි මෙතන තියනවා දර්ශී ... "


" මෙන්න මේක අපේ සුදු හාමිනේට දෙන්න ... "


" මං යන්න කලින් එන්න කිව්වට කෝ මේ කෙල්ල ආවේ නෑනේ ... "


රකේල්ට ප්‍රියංකා එක්කත් තරහයි. ඇය තමන්ගේ තත්වයට නොගැලපෙන අය එක්ක ඕනවට වඩා ඇගලුම් පාන්න යනවා කියලා ඔහු හිතුවේ පුරුදු කේන්තියෙන්මයි.


ඔහු දැන් දන්නවා මේ කෙල්ලගේ ගෙදර කියලා. තව මොහොතක්වත් ඔහුට ඉන්න ඕන වුනේ නෑ මෙතන.


" කෝ ... දුව ... "


ප්‍රමේෂ්ට තිබුණු ප්‍රශ්නයත් ඒකම තමයි. 


" දුව වත්ත පහල පාත්තියක් හදනවා ලොකු නෝනා ... "


" දැන් එයි අම්මේ බඩගිනියි කියාගෙන ... "


රකේල් උනන්දුවෙන් ඇහුකන් දුන්නේ ඇය ගැන දැන ගන්නත් හිත යටින් කැමැත්තක් තිබුණු නිසා.


" පව් ... මේ අපේ කොල්ලොවත් ආසාවට උදැල්ලක් අල්ලලා නැතුව ඇති. ඒ අතින් කෙල්ලගේ හිත හයියයි. එහෙම දරුවෙක් ලබන්නත් දර්ශී වාසනා කරලා තියෙනවා ... "


කොල්ලාගේ මුව ඇද වෙලා ගියේ කෙල්ල ගැන මහා ඉහලින් වර්ණනා කරන එකට.


" අම්මේ ... බඩගිනියෝ ... "


" මං නාගන්න යනවෝ ... "


කෙල්ල හිතුවේ දර්ශනී ගේ ඇතුලේ ඇති කියලා. ගේ පිටුපස තිබුණු වැල ලගට ඇවිත් පුරුදු විදියටම දිය රෙද්දට මාරු වෙලා රෙදි ටිකයි සබන් කෑල්ලයි අරගෙන ආවේ ගේ ඉස්සරහා පැත්තට. 


ගේ ඉස්සරහා ඉන්න කට්ටිය දකිද්දී කෙල්ල ගේ අතින් පනිට්ටුවත් වැටුනා. ඇයව ඉස්සෙල්ලාම දැක්කේ කොල්ලා. ඔහුගේ ඇස් ගැස්සෙනවා ඔහු ලගම ජම්බු කකා හිටිය ප්‍රමේෂ් හොදටම දැක්කා. කොල්ලාගේ හද ගැස්ම පවා වැඩි වෙලා. දියරෙද්ද ඇදගෙන ඉන්න ඇයගේ පිරිපුන් ගත තුරුණු වියේ සිටින ඔහුගේ හැගීම් අවුස්සනවා. දිය රෙද්දට ඇයගේ සරාගී බව තවත් වැඩි වෙලා තිබුණා. ඔහු ඇය ලග අතරමං වෙද්දි ප්‍රමේෂ් ඔහුගේ හඩ අවදි කලේ තවත් කොල්ලාගේ ඒ හැසිරීම ඔහුගේ ප්‍රතිරූපයට හානීයක් වෙයි කියලා හිතලා.


" ආහ් ... නංගි බබා ... "


" ඔයාගේ ජම්බු ටික මං කඩන් කෑවා හොදේ ... "


" මෙහේ ආවාට පස්සෙයි දන්නේ මේ ඔයාගේ ගෙදර කියලා ... "


ප්‍රමේෂ්ගේ හඩේ වගේම බැල්මේ තිබුණු සහෝදරකම තේරුම් ගන්න දර්ශනීට වගේම ප්‍රියංකාටත් බැරි වුනේ නෑ. කෙල්ලගෙත් පියවී සිහිය ආවේ ඒ මොහොතේ. ඇය ප්‍රමේෂ් සමග සිනාවී ලැජ්ජාවෙන් රතු වුනු වතින්ම බිම වැටී තිබුණු පනිට්ටුවත් අරගෙන ඉක්මණින් ම එතනින් ගේ පිටුපසට දිව්වේ වෙච්ච ලැජ්ජාවත් එක්ක තමන්ගේ මේ හැසිරීම ගැන තරහා කුත් ඒ හිතට ඇති වෙද්දි.


" පව් ... කෙල්ලට ලැජ්ජ හිතුනා ... "


ප්‍රියංකා සිනාමුසු මුහුණින්ම එහෙම කියද්දි දර්ශනීගෙත් හිත ඇතුලේ ඇති වුනු බිය මදකට තුනී වුනා. ඇය දැක්කා රකේල් තම දියණිය දිහා ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඇයට බයයි ඔහු වගේ අහංකාර කිසිම මනුස්සකමක් නැති කොල්ලෙක් නිසා තමන්ගේ දියණියගේ ජීවිතේ විනාශ වෙයි කියලා.


" මොනාද ආන්ටි කුස්සිය පැත්තෙන් එන සුවඳ ... "


ෂෝක් වෙලා වගේ හිටිය කොල්ලා ප්‍රමේෂ් දිහා රවලා බැලුවා. ඔහු ඉතින් ගාණටවත් ගත්තේ නෑ කොල්ලාව..මොකද ඔහු දැක්කා දර්ශනී හිනාවුනු වේලාවේ රකේල් ඇයව ගණන් නොගෙන අහක බලාගන්නවා.


" දුව ආස නිසා දවල්ට රොටී හදලා කොරලි මාලු හොදී හැදුවා චුටි මහත්තයෝ  ... " 


ප්‍රමේෂ්ගේ නම් කටට කෙලත් ඉනුවා. ඔහු හොරැහින් බැලුවේ ප්‍රියංකා දිහා. 


" දර්ශී ... හැමදාම වගේ අදත් රොටී ගොඩක් හැදුවා නේද ... "


" මං කිව්වනේ මාත් එනවා කියලා අද රොටී කන්න තව දෙන්නෙකුත් එක්ක ... "


එහෙම කියද්දි කොල්ලාට හිතුනා අම්මා මේ ගමන ප්ලෑන් කරලාම තමයි මෙහෙට ඇවිත් තියෙන්නේ කියලා. තම මව ගැනත් කොල්ලාට  නොරිස්සුමක් ඇති වුනා.


" අම්මා ... අත්තම්මා මග බලාගෙන ඇති අපි එනකන් ...  යන්නේ නැද්ද ... "


ඔහුගේ කිසිම තෙතමනයක් නැති වචන වැදුණේ දර්ශනීගේ පපුවේ. ඇයට තේරුණා ඔහු තමාගේ ගෙදරින් කන්න තියෙන අකැමැත්ත ප්‍රකාශ කලේ ඒ විදියට කියලා.


" මායී ආන්ටියි කාලා එන්නම් ... උබ අත්තම්මා බලලා වරෙන් ... "


" මම ආවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑනේ කොහොමත් ... "


" ආන්ටිත් සතියකට සැරයක් යනවා කිව්ව නිසා ගියේ නෑ කියලා කොහොමටවත් ප්රශ්නයක් වෙන්නේ නෑ ... "


රකේල් කේන්තියටම රතු වුනු ඇස් වලින් ඔරවගෙන හිටියේ ප්‍රමේෂ්ට. ඔහුට දැනුණේ හිඟන්නු ඉදිරියේ දී තමන්ව බාල්දු වුනා වගේ හැඟීමක්.


" පුතා ... ප්‍රමේෂ් පුතා කියපු එක හරි ... "


" මං නාව කියලා ප්‍රශ්නයක් නෑ ... පුතා ගිහින් අත්තම්මාව බලලා එන්න ... "


රකේල්ගේ මේ හැසිරීම් වලට අනුබල දෙන්න ඕන වුනේ නෑ ප්‍රියංකාට. ඒ නිසාමයි ඔහුගේ කේන්තිය ගණන් නොගෙනම එහෙම කියලා දැම්මේ. දර්ශනී එතනින් ගේ ඇතුලට පිට වෙලා ගියේ කෑවත් නොකෑවත් කෑම ටික මේසේට ඇරලා තියන්න හිතාගෙන. එතන හය දෙනෙකුට විතර කන්න රොටී වගේම කොරලි මාලුවත් ඇය හදලා තිබුණා.


" රකී ... උබගේ ඔය මහන්තත්වේ මේ අහිංසක මිනිස්සුන්ට පෙන්නන්න එපා ... "


" දුප්පත් කියලා මිනිස්සු කොට්ඨාශයක් හිටියේ නැත්නම් උබලාගේ තේ දලු කඩන්නත් පැක්ට්ටිරී වල වැඩ කරන්නත් වෙන්නේ උබලා අපිට තමයි. උන්ගේ දාඩිය මහන්සියෙන් දියුණු වෙලා අපි තමයි ලොක්කෝ කියලා කිව්වට වැඩක් නෑ උන්ගෙන් ලැබෙන සපෝට් එකටත් ගරු කරපන් ... "


" අපි යමු ආන්ටි ... මම නම් පොලොවේ පය ගහලා ජිවත් වෙන මනුස්සයෙක් ... "


ප්‍රියංකාගේ මුවින් පිට වුනු බරැති සුසුමේ හඩ කොල්ලාගේ අහංකාර හිතට පහරක් වගේ වුනා. තම මව පියා නිසාත් තමන් නිසාත් හොදටම හිත රිද්ද ගන්නවා නේද කියලා ඔහුට හිතුනා. ප්‍රථම වතාවට ඔහුටත් දැනුණා තමන්ගේ හැසිරීම වැදගතෙක් කියන ගොඩටවත් සුදුසු නෑ කියලා. පුංචි කාලේ කෙල්ලගේ අම්මගෙන් බීපු කිරි ටිකටත් තමන් මනුස්සකමක් දැක්කුවේ නෑ නේද කියලා ඔහුට හිතෙන්න ගත්තා. 


ඔහු හිතන පතන විදිය ගැන ප්‍රථම වතාවට ඔහුටම පිළිකුලක් දැනුණා. ඒත් ඔහු දන්නවා තමන් පරක්කු වුනා වැඩී කියලා තමන්ගෙන් ඔවුන් දකින ප්‍රතිරූපයෙන් වෙනස් වෙන්න. ඕන දේකට මුහුණ දෙන්න හිතාගෙන දඩබ්බර ඔහු පය තිබ්බේ කෙල්ලගේ නිවස ඇතුලට.


" අචලා ... " 


වේනූෂ් පොලිසිය තුලට ගොඩ වුනේ තම මව ව රෝහල් ගත කල පසු ඇයගේ සාත්තුවට නර්ස් කෙනෙකුත් ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂකයින් කිහිපදෙනෙකුත් නැවැත්තීමෙන් පසුවයි.


" සර් ... මැඩම්ට කොහොමද ... "


චන්දනගේ ඇමතුමෙන් වේනූෂ්ගේ මවගේ විස්තර ටිකක් දැනගත්තත් තම ආයතනයේ ඉහල තනතුරක් දැරූවත් ඔහුගේ පවුලේ කෙනෙකුට කරදරයක් වෙද්දි සුවදුක් ගැන අහලා බලන එක යුතුකමක් කියලයි ඇයට අචලාට හිතුනේ.


" අර ගර්ල්ට පිං සිද්ද වෙන්න මගේ අම්මා අද ජිවතුන් අතර අචලා ... ඒ  ගර්ලුත් බයට මග ඇරලා ගියා නම් මගේ අම්...මා ... "


දරාගැනීමේ ශක්තිය කොයිතරම් ප්‍රගුණ  කරලා හිටියත් තමන්ගේ අයට කරදරයක් වෙද්දී ඕනම ආරක්ෂක අංශයක සේවය කරන නිලධාරියෙක් වුනත් හුගාක් සංවේදී වෙනවා. කොල්ලාගේ හඩ බිදිලා ගියේ ඇය ලේ විලක් මැද වැටිලා හිටිය හැටි මතක් වෙලා. මේ මොහොතෙත් ඔහුව වේවුලනවා වගේ කෝපයටත් වඩා වේදනාව ඔහුගේ සිතේ මුල් බැස ගත් නිසා.


" බුදුසරණින් මැඩම්ට ඉක්මණටම හොදවෙයි සර් ... "


" පව් සර් අර මං ගිහින් දැම්ම ගෑණු දරුවත් තාත්තාත් නැතිව කඩයප්පනුයි කිරි බෝතලුයි එලවලු පලතුරු එහෙමත් විකුණලු ජිවත් වෙන්නේ ... "


" හරිම අහිංසක පවුලක් වගේ සර් ... "


" මට නම් හුගාක් දුක හිතුනා ඒ අම්මා අඩාගෙන ඇවිත් කෙල්ලව අතගාගා කරදරයක් වෙලාද කියලා හොයපු හැටි දකිද්දී ... "


අචලා කියපු දේවල් එක්ක වේනූෂ්ගේ හිතෙත් ඇය ගැන තවත් පැහැදුනා. ඔහු ඔහුගේ පෞද්ගලික රථයේ යතුර ගත්තේ තමාගේම කියලා ඉන්න එකම වස්තුව ව බේරගත්ත ඇයට කෘතඥතාව පල කරන්න වගේම ඇයගේ ජිවිතයට හයියක් වෙන්න හිතාගෙන ඇයගේ නිවසට යාමටයි.


" අචලා ... මගේ ෆෝන් එකට එයාගේ ගෙදරට යන පාරේ ලොකේෂන් දාන්න ... "


" මං අම්මා හොද වෙනකන් එයා ලග ඉන්න ඕන ... වැඩ ටික හොයලා බලලා කරන්න. හදිස්සි වැඩක් නම් ඕන වේලාවක කතා කරන්න ... "


එහෙම කියලා කොල්ලා පොලිස්ටේෂන් එකෙන් එලියට ඇවිත් කාර් එකට ගොඩ වුනේ හිත දහසක් සිතුවිල වලින් පිරෙද්දි.


කෙල්ල ගේ පිටු පසින් නිවස තුල තිබුණු නානා කාමරයට රිංගුවේ හිතින් රකේල්ටත් බැන බැන.


" මොකට අපේ ගෙදර ආවා ද දන්නේ නෑ හාමු මහත්තයා ... "


" බලන් හිටිය හැටි විතරක් මට පේන්න බෑ ඔය කැහැටුල්ලාව ... "


දිය රෙද්දත් ගලවපු ඇය වතුර මල යටට වුනේ නැවතත් ඒ හිතට කෝල හැගීමක් දැනෙද්දි. ඇය නාන කාමරයේ තිබෙන කැඩපතට එබුනේ ඇයගේ සුන්දර රූ සපුව ගැන ආඩම්බර වෙමින්. පියාගෙන් ලැබුණු පෙනුමට ඇය පෙරදා වෛර කලත් කැඩපතින් වෑහෙන ඇයගේ රූමත්කම දකිද්දී නොදුටු තම පියාගේ මුහුණ දකින්න ඇයට ආස හිතුනා.


" අප්පච්චිගේ ලස්සන තමා මගේ අම්මාගේ හේනේට හිටියේ. ඉතින් මං මගේ ලස්සන ගැන සතුටු වෙන්න හොද නෑ. ලස්සන කන්න ද හිත ලස්සන නැති අර ඇහැටුල්ලා වගේ නම් ... "


කොල්ලාට බැන බැන ම නාගත්ත කෙල්ල පිටතට ආවේ කෙටි ටවල් එකත් පටලවගෙන. 


" ආහ් ... "


ඇය තම කාමරය දෙසට යද්දීම වගේ ලිස්සලා ගියේ ඇගේ තෙත් වු පාද නිසාමයි. අනපේක්ෂිතව සිදු වු ලිස්සා යාමෙන් බියට පත් වු ආරූ දෑස් තදින් පියා ගත්තේ අද මං ඉවරයි කියලා හිතමින්මයි. ඒත් ඇයට තවම රිදුනේ නෑ වැටුණ පාර. ඇය හිතුවේම වැටුණු වේලාවේ ඔලුව මොකේ හරි තදින් වැදිලා තමන් මැරිලා තමයි කියලා. පාවෙනවා වගේ හැඟීමක් ඇයට දැනුණේ.


" මං මැරිලාම තමයි ... ඒකනේ මේ පාවෙන්නේ ... "


" අනේ ... මගේ රත්තරං අම්මා තනි වෙනවානේ දෙයියනේ ... "


කෙල්ල හැදුවේ එහෙම කියලා හයියෙන් අඩන්නයි. එවිටම දරදඩු අතකට මැදි වෙලා සිටිය ඇයගේ කද කෙලින් වෙනවත් එක්කම ඒ මුව ඒ විසල් අතින් වැසිලා ගියා.


" ආහ් ... කව්ද යකෝ මැරිලා මගේ හුස්ම තවත් හිර කරන්න හදන්නේ ... "


ඇය සිර වෙලා හිටියේ රකේල්ගේ පපුවට. ඇයගේ මුව ඒ රලු අතකින් වසා ගෙන. ඒ මුව කොනක සිහින් මදහසක්. 


" මේක නම් පිස්සු කෝලමක් ... "


" වැටෙන්න අරින්න තිබුණේ මෙතන බෙරිහන් දෙන හැටි බලන්න ... "


" ටවල් කොටේකුත් ඇදගෙන ඉන්න හැටි විතරක්. අපිත් නොමග යනවා මේකීගේ ලස්සන දැකලා ... "


නානා ප්‍රකාර සිතුවිලි වලින් වගේම හැඟීම් වලින් ඒ පිරිමි හිත පිරිලා. ලග ලගම නෑමෙන් රතු වී ඇති ඇගේ වත ඒ තදින් පියවී ඇති දෙනෙත්. තවමත් ජල බිදිති රැදී ඇති ඇගේ සැලෙන සීතල දෙතොල් හුරුබුහුටි නහය ලග කොල්ලාට කවදාවත් කෙල්ලෙක් ලග නොදැනුණු අමුතුම හැඟීමකින් වද දෙන්න ගත්තා. ඇයගේ සුසුම් වල පහසින් උණුසුම් වන තම ගෙල මතින් පටන් ගත් හිරියක් ඔහුගේ ගත පුරාම ඉහිරිලා ගියා. ලෝබයි ඇයගේ බොලද සිහිනෙන් ඇයව අවදි කරන්න. ඒත් ඇයගේ නිවස තුලම මෙලෙස සිටීම නුසුදුසුයි කියලා ඒ හිතට දැනෙද්දි කොල්ලා හැඟීම් පසෙකට දා ඔහුගේ හඩ අවදි කලා.


" මගේ පපුවේ අස්සේ ඉන්න විදිය බලනවා ... "


" ටවල් කෑල්ලකුත් ඇදන් දවල් හීන දකිනවා ... "


" මේ ඕයී ... නැගිටිනවා ... "


තම පපුවට සිර වී කෝලම් කරන ඇයව මදක් ඈත් කොට කොල්ලා ඒ කන්පෙති මත ගෑවී නොගෑවී වගේ හිමීට එහෙම මිමිණුවා. කෙල්ලගේ ගෙලට දැනෙන ඔහුගේ සුසුම් වැල් වල පහසින් වගේම ඒ මෘදු ස්පර්ශයෙන් ඇය හැකිලිලා ගියා. 


" මැරිලත් මේකාගෙන් නිදහසක් නැති හැටි ... "


ලග ලගම ඇහෙන ඔහුගේ ගෝරනාඩුව ඉවසන්න බැරි වෙද්දි ඇය එක ඇහැක් විතරක් ඇරලා බැලුවේ ඔහුව දකින්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් තම වතට නැඹුරුව තියෙන ඒ කඩවසම් වත දකිද්දී කෙල්ලගේ ඇස් දෙකම ඉබේටම ඇරුණා. ඒ හැඟීම් වලින් පිරුණු ඇස් දෙකත් ලග කෙල්ලගේ ඇස් විසල් වුනේ තමන් ඔහුගේ අත්දෙකට මැදිව ඉන්න විදිය මතක් වෙලා. කෙල්ල හැදුවේ ඔහුගෙන් මිදිලා එතනින් පැනගන්න. 


" දැන් ලැජ්ජ වුනාට වැඩක් නෑ ... "


" කෙල්ලෙක් වුනාම වොශ් දාගන්න යද්දී ඇදුමක් අරන් යන්න ඕන ... "


" කොන්ඩේ පිහදලාත් නෑ තවම වතුර බේරෙනවා ... "


" තමුසේ මොන වගේ ඒකීයක්ද මන්ද ... "


ඇයව අත හරින්න ඔහුට හිතක් නෑ. ඒ හිසෙන් හමන සබන් සුවදට ඔහු ඉව අල්ලනවා. මවට පසුව ගැහැණු ආත්මයක් ඔහුගේ පපුව අස්සට වෙලා මේ හිටියමයි. දැන් දැන් ඇය ලග ඔහුට දැනුණේ හුරුපුරුදු උණුසුමක්. ඉතින් ඇය ලග ඔහු සැහැල්ලුවෙන් හැසිරෙන්න පටන් අරගෙන. කෙල්ල පුදුමයෙන් බලන් හිටියේ ඒ නිවුනු ඔහුගේ වදන් දිහා. වෙනදාට ඇති තරම් අපහාස කරන ඔහු අද තමා ගැන වද වෙන හැටි දකිද්දී ඇය හිතුවේම මේක නම් හීනයක් ම තමා කියලා.


" ගෙදර කව්ද ... "


දෙදෙනාම ඔවුන්ගෙන් ඈත් වුනේ මිදුල දෙසින් ඇසුණු ඒ හඩට. පියවී සිහිය ලැබුණු පලමු තත්පරයේ ඇයට බැලුණේ ඒ ගතේ පැටලී ඇති කෙටි තුවාය දෙසයි. නැවතත් ලැජ්ජාවක් ඒ හිත වේලා ගද්දී කොල්ලා දිහා නොබලාම දිව්වේ අසල තිබුණු ඇයගේ කාමරයටයි.


                   ¤¤¤¤¤¤¤¤¤¤¤


නැවත හමුවෙමු ...

 

Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10