නීල නයනී 8
නීල_නයනී
8_කොටස
(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
කෙල්ල අනිත් අය කතාවක ඉද්දි රෝහල් කාමරයෙන් ඉවතට ඇවිත් වටපිට බැලුවේ රකේල්ව හොයන්න. ඒත් ඇයට හිතන්නවත් වේලාවක් නොතියා ඇයගේ අතකින් ඇදගෙන කොල්ලා ඇයව රැගෙන ගියේ රෝහලේ නිදහසේ ඉන්නට සැකසු උද්‍යානය දෙසට.
" වාඩි වෙනවා මෙතනින් ... "
උද්‍යානයේ තිබු බංකුවක් මත වාඩි වුනු රකේල් ඇයගේ අතින් ඇදලා වාඩි කරගත්තේ ඔහු අසලින්මයි.
" මං කියන දේ හොදට අහගන්නවා ... "
" මට එකම දේ දෙපාරක් කියන්න තියන්නත් එපා ... "
කෙල්ල බිමට නැඹුරු කරගත් වතින්ම ඔහු කියපු දේට ඔලුව හෙලෙව්වා විතරයි.
" තමුසේ අද වේනූෂ්ගේ අම්මා බලා ගන්න ඉන්න බෑ ... "
කෙල්ල ඔලුව උස්සලා ඇසුත් ලොකු කරගෙන බලන් හිටියේ ඇහුණු දේ විශ්වාස කරන්න බැරිව.
" ඒකට මං කෙනෙක් හොයලා තියෙන්නේ ... තමුසේ අද ගෙදර යන්න ඕන "
" අනික ඌ එක්ක ඔය තියෙන ඇයි හොදයිය ඔතනින් ඉවර වෙන්න ඕන ... "
කෙල්ලට ම පුදුමයි ඔහුට එරෙහිව යන්න හිතෙන්නේම නෑ කෙල්ලට. එදා ඔහු ඇස් වලින් ඔහුගේ අකැමැත්ත ප්‍රකාශ කරද්දිත් තමා වේනූෂ් එක්ක රෝහලට එනකන් කල්පනා කල හැටි කෙල්ලට ඒ මොහොතෙත් මතක් වුනා.
" තමුසේ ඔහොම දුක් විදින්න ඕන නෑ ආයෙමත් ... "
" මගේ කම්පනි එකේ ජොබ් එකක් දෙන්නන් ... "
" ඒක කරගෙන මං අකැමැති දේවල් නොකර පාඩුවේ ඉන්නවා ... "
රකේල්ගේ නිතීය යටතේ ඇයට උසස් වීම් ලබා දී හමාරයි. ඇයට අහන්න හිතුනා ඔහු කියූ පලියට තමන් ඇයි එහෙම කරන්නේ කියලත්. ඒත් ඔහු ලග කටකාර ඇය ගොලු වෙන්නේ පටන් අරගෙන.
" මොකද ගොලු වෙලා ද එදා වගේ ... "
වේනූෂ්ටත් වඩා ලස්සන හිනාවක් රකේල්ට තියෙනවා කියලා ඇය දැක්කේ ඒ මොහොතෙයි.
" අම්මේ ... මුගේ හිනාවට වේනූෂ් අයියා පරාදයි ... "
" දැන් නම් බයත් හිතෙනවා මං මූට වශී වෙලා කිච වෙලා යයි ද කියලත් ... "
කොල්ලා දිහා බලාගෙන ඇය හිතන්නේ එහෙමයි.
" ඔහොම බලන්න එපා ඕයී ... අපිත් ලැජ්ජ බයට හැදුණු කොල්ලෝ ... "
ආරූ ලැජ්ජාවෙන් රතු වෙනවා දකිද්දි රකේල්ට ආසයි. කෙල්ලගේ විෂයෙහි ඔහුට කවදාවත් නොදැනුණු හැඟීමක් ඒක.
" කට්ටිය හොයනවා ඇති ... "
එහෙම කියලා කෙල්ල බංකුවෙන් නැගිට්ටේ සංගීතා සිටි රෝහල් කාමරයට යන්න. ඒත් රකේල්ගෙන් ඒකට ඉඩක් ලැබුණේ නෑ.
" මං මෙහේම කියන්නේ ඇයි කියලා දවසක මං ම කියන්නන් ... "
" එතකන් මං කිව්ව විදියට ඉන්නවා ... "
" මං කියපු එකක් හරි නොවුනොත් මේ විදියට කතා බහක් එදාට වෙන එකක් නෑ ... "
"තමුසේ දන්නවානේ මගේ හැටි ... "
" මාව ඒ තත්වේට පත් කර ගන්නවා ද නැද්ද කියන එක තමුන්ගේ අතේ තියෙන්නේ ... "
" දැන් අපි ඇතුලට ගියාම කවුරු හරි කොහෙද ගියේ කියලා ඇහුවොත් ඒකට මං උත්තර දෙන්නන් ... "
" යමු එනවා ... "
ආයෙමත් කෙල්ලගේ අත ඒ දර දඩු අතට සිර වුනා. කෙල්ල ඔහු පසු පස ඇදුනේ හිත එක එක කතා ඔහුත් ඇයත් ගැන ඒ හිතට මුමුණද්දී. ඒ යන අතරතුරත් කෙල්ලන්ගේ ඇස් රකේල් වෙත බව දකීද්දී ආරූගේ හිතත් ඊරිසියාව මුසු තරහකින් පිරිලා ගියා. ඇය ඒ කෙල්ලෝ දිහා රවලා බැලුවේ ඔහු මගේ කියන්න වගේ. ඇයට නොදැක්කත් මේ හැමදේම කොල්ලාගේ ඇස් වලටත් අහුවෙලා තිබුණා. හිත ඇතුලෙන් ඇයගේ හැසිරීම් වලට සතුටු වෙද්දි. පිටතින් පුරුදු නපුරු ආඩම්බරකම මවා පෑවා.
දෙදෙනාම රෝහල් කාමරය තුලට එද්දී හැමෝගේම ඇස් යොමු වුනේ ඔවුන් වෙතටයි. කෙල්ල බිම බලාගෙන දර්ශනී ලගට ලං වෙද්දි රකේල් නම් මුකුත් නොවිච්ච ගානට ප්‍රමේෂ් ලගට ලං වුනා.
" කොහෙද පුතා ඔයාලා ගියේ ... "
විමසුම් බැල්මක් රකේල් වෙත හෙලමින් ම ප්‍රියංකා එහෙම අහද්දි අනිත් අයගේ ඇස් තිබුණෙත් රකේල් වෙතමයි. කෙල්ලත් හෙරක වගේ කාටවත් නොපෙනෙන්න ඔහු දිහාට ඇස් අරන් ගියා
" මං පස්සේ කියන්නම් අම්මා ... "
" මචං වේනූෂ් මට උබ එක්ක ටිකක් තනියම කතා කරන්න ඕන ... "
"අපි ටිකක් එලියට යමු ද ... "
ප්‍රියංකාට කෙටි පිළිතුරකින් එහෙම කියලා වේනූෂ්ගේ හිතට දැනෙන කුතුහලයෙන් ම රෝහල් කාමරයෙන් පිටතට ආවා.
•
•
•
" රකේල් ... මොකක් හරි ?ක් ද බං ... "
වේනූෂ්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි කාටවත් ම නොදැනෙන්න රකේල් එක්ක කෙල්ල එලියට ගිහින් ආපු එක.
" මේකයි මචං ... ඇත්තට ම මේ ගැන කියන්න මං උබව එලියට එක්ක ආවේ කෙල්ලට ලැජ්ජ හිතෙන නිසා ... "
" උබ දන්නවානේ කෙල්ලොන්ට තියෙන ලෙඩ ... "
" ඉතින් අරුණලීටත් එහෙමයි ... "
" ඒකයි මං කාටවත් නොකිය එක්ක ගියේ ... "
වේනූෂ් හිටියේ තේරුම් ගන්න බැරි තරම් හිතට දැනෙන අපහසුතාවයකින්. ඇය රකේල් සමග මේ තරම් ලග ඇසුරක් ඇති කියලා ඔහුට කොහොමටවත් හිතුනේ නෑ. ඒත් බලද්දි තමන්ට නොදැනුණු නොතේරුණු බොහෝ දෑ ඔවුන් අතර සිදුවෙනවා කියලා ඔහුට දැන් තේරෙනවා.
" කෙල්ලගේ ඇගට අපහසු දවස්නේ බං දවස් හතම ... "
" ඒ නිසා මං අම්මා ලග නවතින්න කෙනෙක් ගෙදරින් ගෙන්නුවා ... තව ටිකකින් ඒ මනුස්සයා ඒවී ... "
" කෙල්ල අප්සෙට් එකේ ඉන්නේ උබ වැරදියට හිතයි කියලා ... "
" පැනඩෝලුත් අරන් පොවලා ඔය එක්ක ආවේ ... "
රකේල් හිටියේ තාත්වික රංගනයක. කෙල්ල දන්නවා නම් පොලොව පලාගෙන යන්න හිතෙයි රකේල් ඇය ගැන කියපු දේවල් දැනගත්තොත්. කොල්ලාට හිත ඇතුලෙන් හිනා. කෙල්ලක් නිසා දන්නේ නැති ඒවාත් හොයලා කියන්න වුනා නේද කියලා හිතද්දි.
" පව් බං ... මට නොකියා ඉන්න ඇත්තේ අමාරුකම් තිබුණත් ... "
" හොද වේලාවට උබලා ආවේ ... "
" කෙල්ලව එක්ක පලයන් ... "
" උබ ගෙන්නුව කෙනාත් ඉන්නවානේ ... "
හිත ඇතුලෙන් ඇය එක්ක ඉන්න ආස වුනත් තමන්ට නැති අයිතියක් රකේල්ට ඇය සමග තියෙනවා කියලා ඔහුට හිතුනා. තම හැඟීම් පිටතට නොපෙන්වා ඉන්න පුලුවන් හැකියාව ඔහුගේ රැකියාවත් සමග ලැබෙද්දි වේනූෂ් මදහසකින්ම එහෙම කියලා. රකේල් සමග තම මව සිටින රෝහල් කාමරයට ගියා.
" එහෙනම් පුතා අපි ගිහින් එන්නන් ... "
" දවල්ටත් අපි එනවා කෑම කඩවල් වලින් එහෙම ගේන්න එපා හොදද ... "
ප්‍රියංකා වේනූෂ්ගේ හිස අතගාමින් එහෙම කියලා කෙල්ලගේ දිහාට හැරුණා.
" සුදු හාමිනේ ... ඉන්නවා නේද ... "
කෙල්ලට බැලුනේ රකේල් දිහා. වේනූෂ්ගේ ඇස් ඇය වෙත ම තිබුණේ ඇයගේ හැසිරීම් තේරුම් ගන්න වගේ.
" නෑ ... අම්මා එයා ගෙදර යනවා ... "
" මං අපේ ගෙදර වැඩට ඉන්න කමලා අම්මාගේ දුවට එන්න කියන්න කිව්වා ආන්ටි ලග නතර වෙන්න ... "
" මං පස්සේ හේතුව කියන්නන් ... "
ඒ වේලාවේ දි කෙල්ලට බැලුනේ වේනූෂ් දිහා. ඔහුගේ ඇස් තමන් මත ම කියලා දකිද්දි කෙල්ලගේ හිතට දැනුණේ වරදකාරී හැඟීමක්. ඇයට හිතක් තිබුණේ නෑ සංගීතාව දමා යන්නට. නමුත් රකේල්ගේ උදහසට ලක් වෙන්න බයක් ඇයට තිබුණා. ඒ ඇයි කියන්න ඇයට ම තේරුනේ නෑ.
" ආ ... ඒ ළමයා එනවා නම් කමක් නෑ ... "
" අපේ සුදු හාමිනේ වගේ නෙමේ ඒ ළමයා කොහොමත් හොස්පිට්ල් වල ලෙඩ වුනු අය බලාගත්තා ... "
" හොද පළපුරුද්දකුත් එයාට තියෙනවා ... "
" වේනූෂ් පුතා බය වෙන්න එපා එයා අපි දන්න ළමයෙක් ... "
" අම්මා ව හොදට බලා ගනී ... "
දර්ශනීගේ හිතට වගේම ප්‍රියංකාගේ හිතටත් රකේල්ගේ මේ හැසිරීම් ප්‍රශ්නයක් වුනත් පසුවට ඒ ගැන හොයලා බලන්න ඔවුන් හිතා ගත්තා.
" මේ වේලාවේ දි මට කරන උදව් වලට බොහෝම ස්තුතියි ආන්ටි ... "
" නංගිව එක්ක යන එක හොදයි මට රකේල් ඒ ගැන කිව්වා ... "
" දවල්ට එන්න ඕන නෑ ආන්ටි ... "
" අම්මාට මෙහෙන් කෑම දෙනවානේ ... "
" මං අපිට කෑම ගෙන්න ගන්නනන් ... "
වේනූෂ්ට හිතුනේ නෑ ඔවුන්ට තවත් කරදර කරන්න. ඒ නිසාමයි එහෙම කිව්වේ.
" නෑ ... නෑ ... පිටින් කන්න ඕන නෑ ... "
" මං එනවා දවල්ට කෑමත් අරන් ... "
ප්‍රියංකාගේ දිහා ස්තුති පුර්වක බැල්මක් හෙලපු වේනූෂ් ඇයට අවනත වුනේ ඒ හිතවත්කම තවත් ප්‍රතික්ශේප කරන එක හොද නෑ කියලා හිතමින්.
" එහෙනම් අපි ගිහින් එන්නම් පුතා ... "
අනිත් අය ඔහුට සමු දීලා පිටතට යද්දි කෙල්ලයි රකේලුයි විතරයි රෝහල් කාමරය තුල ඉතිරි වුනේ.
" අපි ගිහින් එන්නන් අයියේ ... "
" මං ආයෙමත් එන්නම් සංගීත මැඩම් ව බලන්න ... "
" කෑම බෙදලා ඇති කන්න අයියේ ... "
රකේල් ඇයගේ සුරත තම අතක පටලව ගද්දී කෙල්ලට වේනූෂ් සිටින නිසාම අපහසුතාවක් දැනුණේ.
" හරි නංගි ... ඔයාලත් පරිස්සමට ගිහින් එන්නකෝ ... "
" බොහෝම පිං නංගි මගේ අම්මා වෙනුවෙන් කල හැමදේට ම ... "
කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුණේ තවමත් නිසල ව සුව නින්දක පසු වෙන සංගිතාව දකිද්දී. ඇය කෙල්ලට සැලකුවේ තමන්ගේම දරුවෙක්ට වගේ. කොල්ලාගේ අත අතහැරලා කෙල්ල සංගීතා ලගට ගියා. ඒ හිස මොහොතක් පිරි මැදලා කෙල්ල ඇස් වලට උණපු කදුලුත් සගවගෙන රකේල් වෙත ආවේ බිම බලාගෙනමයි.
" අපි යන්නම් මචං එහෙනම් ... "
" ඕන වේලාවක මට කෝල් කරපන් හරි ද ... "
ඔහුගේ නම්බර් සහිත කාඩ් පතක් වේනූෂ්ට දෙන ගමන් රකේල් එහෙම කියලා නැවතත් කෙල්ලගේ අත අල්ල ගත්තේ වේනූෂ්ටත් පේන්න.
" හරි මචං පරිස්සමට ගිහින් වරෙන් ... "
වේනූෂ්ගෙන් සමුගෙන කෙල්ල රකේල් එක්ක රෝහලේ කොරිඩෝව දිගේ ආවේ හිත ඇතුලින් සංගිතා ලග ඉන්න බැරි වුනු එකට දුකින්මයි.
" මටත් දුකයි ඒ අම්මා ගැන ... "
" අපි පුලුවන් උදව්වක් කරමු ... "
" තමුසේ කදුලු පුරව ගන්නේ නැතුව ඉන්නවා ... "
කදුලු පිරුණු කෙල්ලගේ ඇස් දකිද්දී කොල්ලාගේ හිතත් රිදෙනවා. ඒ නිසාමයි කොල්ලා කාර් පාර්ක් එකට යන්න කලින් කිසිවෙකුත් නැති කෝරිඩෝවේ දී ඇයව නවතගෙන ඒ හිස පිරිමදිමින් එහෙම කිව්වේ.
" මට සංගීත මැඩම් සැලකුවේ දරුවෙකුට වගේ ... "
" කිරි වල ගානටත් වැඩියෙන් හැමදාම මට සල්ලි දුන්නා ... "
" මට තෑගී හුගාක් එයා දීලා තියෙනවා ... "
" ඉතින් අම්මා කෙනෙක් වගේ මට පිහිට වුනු ආදරේ කරපු මනුස්සයාට කරදරයක් වුනාම මං කොහොම ද මුකුත් නොකර ඉන්නේ. ඒකයි මං ඊයේ අම්මා තනියෙන් කියලා දැන දැනත් සංගීත මැඩම් ලග ඉන්න ගියේ ... "
කදුලු වගුරමින් ඔහු සමග දොඩමලු වෙනවා කෙල්ලගේ හැඩීමෙන් ම රතු වුනු උවන දකිද්දී කොල්ලාගේ හිතට මහා ලෝබකමක් දැනුණා. හැඩුවත් ඇය ලස්සනයි.
" ඊයේ හිටියනේ ඔයා ... ඒ මදැයි ... "
" මං හැමදේම හොයලා බලලා කරවන්නන් ... "
" අනික ඒ අම්මට ඉක්මණට ම හොද වෙයි ... "
" හොටු පෙරා ගෙන අඩන්නේ නැතුව ඉන්නවා ... මං ආයී කියන්නේ නෑ හරි ද ... "
නපුරාගේ සැර බාල වෙලා දැන් ඇය ලග. ඒ ඇස් වල කදුලු පිස දමමින් කොල්ලා එහෙම කියලා හැරුනේ පිටුපසින් කවුරු හරි එන පා හඩ ඇහුණු නිසා. ඔහුගේ ඇස් කෝපයට ම රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. කෙල්ලගේ ලගින් ඈත් වුනු කොල්ලා අතමිට මොලොව ගත්තේ කෙල්ලත් පුදුමයෙන් ඔහුගේ වෙනස් වන ඉරියව් දිහා බලන් ඉද්දි.
නැවත හමුවෙමු ...
Comments
Post a Comment