නීල නයනී 1

#නීල_නයනී



(කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" අද නම් මගේ දවසම සුභ වෙයි ඕන් ... "

" අපේ සුදු හාමිනේ නේ දැක්කේ ... "

ඇගේ එක් අතක කිරි බෝතල් දෙකකි. අනිත් අතේ උදෑසනම අවදි වී මව සමග සෑදූ කඩයප්පම් මල්ලකි. පුරුදු විදියටම ඇය තමන් ඉදිරියේ සිටින සුගතපාල දෙස බැලුවේ බොරු අමනාපයකින්.

" අනේ නිකන් ඉන්න මාමා ... "

" හැමදාම ඕක කියනවා ඔයා කටපාඩමෙන් වගේ ... "

සුගතපාල විට කා කහට බැදි දත් කුට්ටම යාන්තමට පෙන්නගෙන පුරුදු මදහසින්ම ඇයගේ හුරතල් වත දිහා බලාගෙන මොහොතක් හිටියා. ඔහු දන්නවා ඊලගට ඇය අහන ප්රශ්නෙත්.

" ඇත්තටම ... උදේම මං එද්දීම මෙතනින් යන්නේ මාව දකින්න ඕනවට ද ඔයා ... "

ගොවිතැනින් ජිවත් වෙන සුගතපාල උදෑසන හයත් හතත් අතර උදැල්ලත් කරපින්නගෙන පිහියත් අතේ අරගෙන තමන්ගේ කොරටුවට යන්නේ ඇය එන නියර දිගේමයි. අහම්බෙන් වුනත් ඇයව හැමදාකම සුගතපාලට මුණ ගැහෙනවා. 

" ඔව්නේ ... අපේ සුදු හාමිනේ දැක්කාම මේ අත් දෙකට කවදාටත් වඩා හයි හයිහත්තියක් දැනෙනවා නොවැ ... "

ඔන්න ඉතින් කෙල්ල කිංකිණි හඩ නගමින් හිනාවෙනවා. ඒ හිනාව හරිම අව්‍යාජයි. සුගතපාලත් ඇයට සැලකුවේ තම දරුවෙක්ට වගේ. කොරටුවෙන් පලදාව නෙලන විට ඇයටම කියා පංගුවක් වෙන් කිරීම ඔහුගේ එක රාජකාරියක් වුනා.

" සුගතේ මාමා ... හෙට එනකොට ඔයාගේ කොරටුව ලග බැද්දෙන් ඇඹුල් පේර ටිකක් කඩාගෙන එන්නකෝ ... "

ඔන්න එතකොට ඇයගේ චාටු කතා. 

" මං දවල්ට ගෙදර එද්දි ගේන්නන්කෝ සුදු හාමිනේ ... "

ඔන්න එක පාරටම ඇයට මතක් වෙනවා කඩේට යන්න නේද ආවේ කියලා. සුගතපාලවත් අමතකයි. නියර දිගේ ඒ රෝස පැහැති දෙපා ගමන් කරන්නේ කඩියෙක් වගේ. සුගතපාල කවදත් ඇයගේ මේ ළමා ගති වලට තමයි ඇලුම් කලා.

" මිගාර අයියට පින නෑ මේ සීදේවී දරුවෙක්ට කියලා තාත්තා කියා ගන්න ... "

ඇය යන මග දිහා දිහා බලාගෙන තමන්ටම එහෙම මුමුණ ගත්ත සුගතපාල දිගු සුසුමක් පිට කලේ ඇයගේ දැන් ගෙවන දුක්ඛිත ජිවිතේ මතක් වෙලා.

අවුරුදු දහනවයක් වු ඇය නමින් අරුණලී ආකාර්ශා මුදලිනායකයි. මිගාර මුදලිනායක ඇගේ පියා වු අතර මව දර්ශනී අතුකෝරල වුනා.

ඉක්මන් ගමනින් ප්‍රධාන තාර පාරට වැටුණු ඇය බිමට නැඹුරු කරගත් හිසින්ම ඉදිරියට ගියා. මොහොතකින් ඇයගේ ඇගේ ගෑවී නොගෑවී වගේ නතර කලේ සුඛෝපභෝගී මෝටර් රථයකි. 

" නංගි පැටියෝ ... කරදර කලාට සොරි ... පුලුවන් නම් අපිට කියනවද බණ්ඩාර මහත්තයාගේ වලව්ට යන පාර ටිකක් ... "

තැතිගැන්මක් හිත අස්සේ එබිකම් කරද්දි හිතට ධෛර්ය අරගෙන කෙල්ල ඇයගේ බෝල ඇස් දෙක සිහින් කරගෙන බලන් හිටියේ කරදර කරන්න ආවොත් කිරි බෝතලෙන් හරි ගහලා බේරෙනවා කියලා හිතමින්. ඇය දන්න සමාජය තුල එහෙම කරලා බේරුණත් නගරයේ කෙනෙක්ට ඇයගේ කිරි බෝතලේ දෙක කියන්නේ සෙල්ලම් බඩුවක් විතරයි. 

මෝටර් රථයේ විදුරු කවුලුව පහත් වුනෙත් ඒ තුලින් කඩවසම් තරුණයෙකු එබුණෙත් නැවත ඇයව තිගස්සවමින්.

" හෙලෝ ... හෙලෝ ... නංගා ... මං ඔයා එක්ක කතා කරන්නේ. ඔයාට කතා කරන්න බැරිද ... නැත්නම් ඇහෙන්නේ නැද්ද ... "

තරුණයා එසේ අසද්දි ඇයගේ හිතට ආවේ මහා කපටි අදහසක්. ඇය එක අතකට සිර වෙලා තිබුණු කඩයාප්පන් මල්ල බිමින් තියලා අත එහාට මෙහාට විහිදුවමින් කිව්වේ ඇයට කතා කරන්න බැරි බවත් කන් ඇහෙන්නේ නැති බවත්ය.

" අයියෝ ... පව් බං ... "

" මේ තරම් ලස්සන කෙල්ලෙක්ට කතා කරන්න බැරි එක ඇහෙන්නේ නැති එක මහා අපරාධයක් යකෝ ... "

කෙල්ලගේ දෑස් කුහුලෙන් හැකිලෙද්දි උපතින්ම උරුම ගැහැණු ගතිය නිසාම තව ටිකක් හොදින් තමන්ට කතා කරපු තරුණයා දිහා බලාගෙනම ඔවුන්ට ඇහුම්කන් දුන්නා.

" ගොලුච්චියොත් එක්ක කතා කර කර ඉන්නේ නැතිව යමන්කෝ රෙද්ද ... "

" උබටත් ගවුමක් දකින්න බෑ ... "

කෙල්ලට කේන්ති යන්න ඒ වචන ටිකම ඇති. ඔවුන් යන්නේ වැඩි ඈතකට නොවෙන නිසාම ඉවසීමෙන් ඔවුන්ගේ කතාවට තවත් හොදට අහගෙන හිටියා.

" ඒ කියන්නේ ඇතුලේ තවත් එවුන් ඉන්නවා ... "

" චික් විතරක් ... මොකා වුනත් කතා කරපු කැත. අම්මත් කිව්වා තමයි ලොකු බණ්ඩාර හාමුගේ පුතෙක් රට ඉදලා නවතින්නම වලව්වට එනවා කියලා ... "

" කෝකාටත් වාරයක් ආවා වගේම තිත්තයටත් වාරයක් එන්නේ නැතැයි ... "

" මට පරක්කුත් වෙනවා මුදලාලි මාමා මගේ ඔලුව කයි තවත් පරක්කු වුනොත් ... "

" මුන්ට ඕන මගුලක් කරගන්න කියලා මං යනවා ... "

තමන් එක්ක කතා කරපු තරුණයා තමා දිහාට හැරෙනකන් ඉදලා ඔහුට අහිංසක හිනාවකින්ම සංග්‍රහ කරලා කෙල්ල ඔවුන්ව මග ඇරලා කෑම දාන කඩවල් තියෙන පැත්තට ගියා.

" පව් බං ... ඔහොම කතා කරන්න එපා ... "

" අපිනේ ඒකීට කතා කලේ ... "

කෙල්ල හිතුවා වගේම ඇය එක්ක කතා කලේ බණ්ඩාරනායක වලව්වේ ලොකු හාමුගේ පොඩි පුතා වන රකේල් දුල්නෙත් බණ්ඩාරනායකගේ යාලුවා එක්කයි. ඔහු නමින් ප්‍රමේෂ් දිලංක සමරවීර. ඔවුන් දෙදෙනාම ලන්ඩන් වල අධ්‍යාපනය  ලැබුවේ එකට. වයස විසි හතරත් පසු කරමින් සිටින මිතුරන් දෙදෙනා සතියකට කලිනුයි ලංකාවට ආවේ. 

නිවැසියන් වෙනුවෙන් එහිදි ගත් තෑගී බෝග ද රැගෙන ඔවුන් මේ තරම් දුර ආවේ මතකයෙන්. කුඩා කලම විදේශ ගත වු රකේල්ට දියුණු වෙමින් පවතින තම කුඩා කල සිටි වටපිටවේ වෙනස නිසාම තම නිවස සොයා ගන්න ටිකක් අපහසු වුනා.

" මදැයි ... ඉදලා ඉදලා ලස්සන නංග කෙනෙක් ලග කාර් එක නැවැත්තුවා ... "

" ගොලු එකත් එක අතකට හොදයි බං. නැත්නම් උන් කට ඇරියාම පලාතම ඉවරයි. කනක් ඇහෙන්නේ නෑ ... "

මෙච්චර වෙලා තම මිතුරාට ඔරවගෙන හිටිය රකේල්ගේ මුවේ යාන්තමට මදහසක් ඇදිලා මැකිලා ගියා.

" තෝ මහා ගොනෙක් ... කෙල්ලන්ගේ බොරු වලට අහු වෙනවා ... "

" ඒකී ගොලු නෑ බං ... "

" දැක්කේ නැද්ද අපි කියන ඒවාට හොදට ඇහුන්කන් දීගෙන හිටිය හැටි ... "

" මං ගොලුච්චි කිව්වම ඒ මූණ රතු වුනේ තරහාට. දත්මිටි කෑවේ අපිට හොම්බට දෙකක් ඇරගන්න බැරි වුනු එකට ... "

" මට ද බං කෙල්ලෝ ගැන කියන්නේ ... "

ප්‍රමේෂ් හිතුවේම නෑ කෙල්ල ගොලු නෑ කියන එක. ඇයගේ අහිංසක හිනාව ඔහුව නොමග යැව්වා කියන එක පිලිගන්න ඔහුගේ හිත තවමත් කැමති නෑ.

" ඔව් ඉතින් ... අපේ පස්සේ කෙල්ලෝ ආවේ නෑනේ උබට වගේ ඔය තරම් කෙල්ලෝ ගැන දැනගන්න ... "

" මම නම් ඒ නංගිට කැමතියි. මං එයාව දාගෙනම තමා පස්ස බලන්නේ ... "

තම මිතුරාගේ කතාවෙන් රකේල්ගේ හිත කවදාවත් නැතිව නොසන්සුන් හැඟීම් වලින් පිරිලා ගියා. ඔහුගේ ඇස් වල පෙනෙන කලබලකාරි බව ප්‍රමේෂ්ගේ ඇසට හසුවෙද්දි ඔහු රකේල් දෙසට හෙලුවේ විමසුම් බැල්මක්.

" කව්ද දන්නේ බං ඒ කෙල්ලට දැනටමත් අයිතිකාරයෙක් ඉන්නවාද කියලා ... "

" බොරුවට බලාපොරොත්තු තියාගන්නේ නැතුව දැන් යමන් රෙද්ද ... බඩගිනියි මට හොදටම ... "

තමන්ගේ හැඟිම් නැවත ප්‍රමේෂ්ගෙන් සඟව ගෙන ඔරවගෙනම කවුලුවෙන් පෙනෙන ගැමි සුන්දරත්වය දිහා ආසාවෙන් බලන් හිටියා.

" ඊලගට හම්බ වෙන එකාට ඇස් පේන්නේ නෑ කියයි ද දන්නේ නෑ ... "

" එහෙම වුනොත් මං ඌටත් පාර පෙන්නල තමයි යන්නේ ... "

රකේල් තම මිතුරාට නොපෙනෙන්න අහක බලාගෙන හිනාවුනේ දැන් ප්‍රමේෂ් ඉන්නෙත් පාර දැන ගන්න විදියක් නැතිව තරහෙන් කියලා දන්න නිසා. මොකද තමන්ට වගේම කා කියාගත්ත ගමන් ඉන්න ඔහුටත් දැන් කුසගින්න තදින් ම දැනෙනවා ඇති කියලා රකේල් දන්නවා.

යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණෙනවා දකිද්දිම ප්‍රමේෂ්ගේ මුව මත ඇදුණු සිනහවෙන්ම රකේල් දන්නවා යතුරු පැදි කරුට අද ප්‍රමේෂ්ගෙන් බේරුමක් නෑ කියලා.

" මේ ... සොරි වෙන්ඩ ඕන මල්ලි ... උදේම ඉදලා කොළඹ ඉදලා මේ එන්නේ බඩගිනියි හොදටම කලන්තේ වගේ. ඒ නිසා චුට්ටක් අත බැරි වුනා. තුවාල නෑ නේද ඔයාට ... "

කාර් එක ඉදිරියට එන තරුණයාව දැක දැක තමයි ප්‍රමේෂ් යතුරු පැදියට හරස් කරලා කාර් එක නැවැත්තුවේ. යතුරු පැදියේ සිටි තරුණයා හෙමින් ආව නිසාම දන්න වැඩ ටික දාලා කාර් එකෙත් නොවැදි යන්තමට බේරුනා.

" නෑ ... නෑ ... අවුලක් නෑ මහත්තයා ...."

" ඒත් ඉතින් මහත්තයා මිනිස් ජිවිත නැති වුනොත් නිදහසට කරුණු කියන එක නම් වැඩක් නෑ ... "

" හොදම දේ කාර් එක අරන් යන්න අපහසු නම් පාරේ නතර කරලා විවේක අරගෙන ඉදලා යන එක නේද ... "

රකේල් කේන්තියෙන්ම බැලුවේ ප්‍රමේෂ් දිහා. ඔහුගේ මෝඩ වැඩ නිසාම එක එකාගෙන් කතා අහන්න වුනු එක නිසා ඔහු හිටියේ නොරිස්සුමෙන්.

" ඒක නෙමේ මල්ලි බණ්ඩාර වලව්වට දැන් ලගද ... "

ප්‍රමේෂ් එහෙම අහද්දි සුගතපාලගේ පුතා වන නිමන්ත කොල්ලෝ දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවේ කුතුහලය පිරුණු බැල්මකින්. කොල්ලාට නිමන්ත දකිද්දි ඇති වුනේ නොරිස්සුමක් ඒ ඇයි කියලා ඔහුවත් දන්නේ නෑ.

" ඔව් තව ගෙවල් දෙකක් ගියාම හම්බවෙන වත්තේ ඇතුලට වෙන්න වලව්ව තියෙන්නේ ... "

" මං මේ වැඩට යන ගමන්. එහෙනම් මං ගිහින් එන්නම් මහත්තයා ... "

නිමන්ත ප්‍රමේෂ් එක්ක විතරක් සුහද හිනාවෙලා එහෙම කියලා යතුරු පැදියට නැගී ඔහු වැඩ කරන බැංකුවට යන්න පිටත් වුනා. නිමන්ත වුනත් දැක්කා රකේල් ඔහු දිහා නොරිස්සුමකින් බලන් ඉන්නවා. ඒ නිසාමයි ඔහුත් රකේල්ව ගණන් නොගත්තේ.

" ගහන්න හිතෙනවා ඒකාගේ දත් ටික බඩට යන්න ...  "

" බලහන්කෝ ... අපි දිහා බැලුවේ හොරු දිහා බලනවා වගේ ... "

" ආයෙමත් කොහේදි හරි හම්බ වෙන්නේ නැතැ ඔය උගුඩුවාව ... "

ප්‍රමේෂ් පුදුමයෙන් බලන් හිටියේ එකපාරටම මූට මොකද වුනේ කියලා හිතමින්. නිමන්ත ඔවුන්ට වරදක් නොකියපු බව ඔහුට හොදටම විශ්වාසයි. රකේල්ගේ වතේ තියෙන ඒ ස්වරූපයෙන් නම් පසුවට නිමන්ත හා ඇති වන ගැටුම ගැන පෙර නිමිති අත්දැකීමෙන් ප්‍රමේෂ්ට කියන්න පුලුවන්. ඒත් එහෙම වෙන්නත් සාධාරණ හේතුවක් නෑ.

" රකී ... උබට මක් වෙලා ද ඔය. ඒ කොල්ලා එක්ක තරහා ගන්න තරම් දෙයක් වුනේ නෑනේ මෙතන ... "

රකේල් තම මිතුරා දිහා බැලුවේ දවා අලු කරන තරමේ බැල්මකින්.

" @$#&$# පුතා ... උබට නොතේරුනාට මට තේරුනා ඌ මාව ගණන් ගත්තේ නෑ ... "

" ඌ දන්නේ නෑ මං කව්ද කියලා ... "

" දැන් මං ඉන්නෙත් මෙහෙනේ ... ඕකට හොද පාඩමක් ඉගැන්නුවේ නැත්නම් මං රකේල් නෙමේ ... "

කේන්තියෙන් පුපුර පුපුර නැවතත් වාහනයට ගොඩ වුනු රකේල් දිහා මොහොතක් කාර් එකේ වීදුරු අතරින් බලන් හිටිය ප්‍රමේෂ් බරැති සුසුමක් පිට කරමින් ම ඇවිත් මෝටර් රථයට නැගුනා.

" රකී ... එහේ වගේ මෙහේ උන් එක්කත් පැටලෙන්න පටන් ගන්න එපා බං ... "

" උබ ඔය හදන්නේ උබෙන්ම පලි ගන්න ... "

" මං දන්නවා හැමදාම උබ මෙහෙම හැසිරුනේ ඇයි කියලා ... "

" ඒකට මේ අහිංසක මිනිස්සු පලි නෑ බං ... "

මිතුරාගේ අතීත කතාව ගැන දන්න එකම පුද්ගලයා තමයි ප්‍රමේෂ් කියන්නේ. ඉතින් ඔය තරම්වත් රකේල් හැදිලා හිටියේ ප්‍රමේෂ්ගේ ඇසුරට පිංසිද්ද වෙන්න. ඔවුන්ගේ මිත්‍රත්වයට දැන් අවුරුදු දහ අටක්. ඉතින් රකේල්ගේ දෙමාපියන්ටත් වඩා ප්‍රමේෂ් ඔහු ගැන දන්නවා.

" දැන් යමන් බං ... මහන්සියි මට ... "

තමන්ගේ කෝපයෙන් මිතුරාගේ හිත රිදෙනවාට කවදත් අකැමැති රකේල් ඔවුන්ගේ කතාවට තිත තිබ්බේ එහෙමයි.

" මමයි ඩ්‍රයිවර් වුනේ උබගේ ... "

" ඒත් අමාරු මුට ... "

" නොදෝමකින් මේ වගේ පාප මිත්‍රයෙක් ... "  

"නිකන් ඇහුවාද උබට මහන්සිද බං කියලා ... "

රකේල් කවුලුවෙන් එපිටට මූණ හරවගෙන හිනාවේවි හිටියේ තම මිතුරාගේ බොරු කේන්තිය දැකලා.

ඔවුන් නිමන්ත කිව්ව විදියට ඇවිත් බණ්ඩාර වලව්වේ පෝටිපෝව යටින් කාර් එක නැවැත්තුවේ වලව්වට ආවා වාහනයක සද්දේට රකේල්ගේ මව වන ප්‍රියංකා ඇයගේ කාමරේ සිට ප්‍රධාන දොරෙන් පෝටිපෝව යටට එද්දි. ඇයට ඇස් අදහා ගන්න බෑ. අවුරුදු දහ අටකට පස්සේ තමන්ගෙන් ඈත් වෙච්ච දරුවා කඩවසම් තරුණයෙක් වෙලා කාර් එකෙන් බහිද්දි. ඇයගේ පෙරදා වගේම දරු සෙනහසින් ඒ ඇස් වලින් නිමක් නැතුව කදුලු වැටෙන්නට පටන් ගත්තා.

" අම්මේ ... "

කොල්ලා ප්‍රියංකා ලගට ඇවිත් කියන්න ලැබුණේ එපමණකි. ඇය උස් මහත් වුනු තම දරුවාව අතෝරක් නොමැතිව සිප ගනිමින් අඩන්න ගත්තේ වැලහින්නක් වගේ. ඇයගේ වේදනාව දඩබ්බර ඒ පිරිමි ඇස් වලටත් කදුලු ගෙනත්. ප්‍රමේෂ් කොල්ලාගේ පිටට තට්ටු කලේ කොල්ලාගේ හැඟීම්බර හිතට අස්වැසිල්ලක් වෙන්න.

" මගේ රත්තරං පුතා ... මගේ පණ ටික ... "

" මේ අම්මා බයේ හිටියේ උබව නොදැක මැරෙන්න වෙයි කියලා ... "

ඔන්න ඉතින් රකේල්ගේ යකා ගස් නගින්න පටන් ගත්තා.  

" ආවා විතරයි ... මට සැනසීමකට ඉන්න ඔයත් මැරෙන්න කතා කරනවා නම් මං යනවා ආයෙමත් නොඑන්නම ... "

ප්‍රියංකාට ඇඩුම් අස්සෙත් හිනා ගියේ තම පුතුගේ දඩබ්බර වදන් වල ඇති ආදරය දැනිලා. ඇය ඒ වත දෝතට ගෙන හරිම ආදරෙන් පිරිමැද්දේ කඩවසම් ඔහු ගැන ආඩම්බරයක් ඒ හිතට දැනෙද්දි.

" හරි ... හරි ... ඔන්න මහත්තයෝ මං අමරණීය වෙනවා එහෙනන් ... "

රකේල්ගේ මව කොල්ලා එක්ක රට හිටියත් කතා කරලා ඔහු ගැන හොයලා බැලුවේ යාලුවෙක් එක්ක කතා කරනවා වගේ කොල්ලා එක්ක සමීපව හිදිමින්. ඉතින් ඇයත් ඔහු සමග උසුලු විසුලු කලේ හිතින් තමන්ගේ තරුණ අවධියට යමින්.   

" කෝ ... රන්දුනු බණ්ඩාරනායක හාමු නැද්ද වලව්වේ ... "

උපහාසයෙන් වගේ කොල්ලා පෝටිපෝව යට සිටම වලව්ව තුලට තම දෑස් යවමින් ප්‍රියංකාගෙන් ඇහුවේ සතුටින් පිරිලා තිබුණු ඒ වත අදුරු වෙලා යද්දි.

" සතියක් විතර ඇති පුතා අප්පච්චි වත්තට ගිහින් ආවේ නෑ තවම ... "

රකේල්ට අමුතුවෙන් කියන්න ඕන නෑ රන්දුනුගේ නොහොබිනා හැසිරීම් ගැන. ඔහු ලංකාවට ආවෙත් ප්‍රියංකා වෙනුවෙන්. ඉතින් ඇය මේ වලව්ව තුල ගෙවන නීරස ජිවිතයට තිත තියලා සතුටින් තියන එක තමා ඔහුගේ එකම පරමාර්ථය.

" ඔව් ... ඉතින් අපිවත් මේ තරුණ වයසට නොකරන ඒවානේ එයා මේ වයසට ගිහිනුත් කරන්නේ ... "

" එයා මට්ටු වෙන්නේ මේ පාර තමයි අම්මා ... "

" හෙටම සීයා මගේ නමට ලිව්ව දේපල වල අයිතිය මං එයාගෙන් උදුර ගන්න පටන් ගන්නවා ... "

" බලමු එයාද මමද දිනන්නේ කියලා ... "

වියරුවෙන් වගේ මහා හඩින් සිනාසෙන ඔහු දිහා ප්‍රමේෂ් වගේම ප්‍රියංකාත් බලන් හිටියේ බිය මුසු වේදනාවකින්. මොකද ඔහු හදන්නේ පියා සමග සටනකට අර අදින්න. ඒකත් ඔහුගේ ලස්සන ජිවිතයට කැපකරමින්. සර්පයෙක් වගේ ඉන්න රන්දුනු ගැන ප්‍රියංකාගෙන් ප්‍රමේෂ් දැනගෙන හිටියා. 

" දැන්ම අනතුරු අගවනවා මං ප්‍රමේෂ් උබවත් අම්මේ ඔයාවත් මේවාට මැදිහත් වෙන්න එපා ... "

" මොකද මං ලංකාවට ආවේ ඔය අප්පච්චි කියන මනුස්සයාව හිගන්නෙක් කරලා දාන්න ... "

" මගේ අම්මට සලකපු නැති ඔය මනුස්සයාට මගෙන් කිසිම සමාවක් නෑ ... "

ප්‍රියංකා තමාගේ ඇස් දෙක වගේ ඉන්න දරුවා දිහා බලන් හිටියේ දරන්න බැරි වේදනාවකින්. කුඩා කලම තමන්ගේ දරුවාව තමාගෙන් ඈත් කරපු රන්දුනු ගැන දුකක් නැතත් රකේල්ගේ ජිවිතේ හොදම කාලේ තම පියාගේ විනාශය වෙනුවෙන් යට කරන එක ගැන ඇයට සතුටක් තිබුණේ නෑ.

" දැන් ඇති පුතේ ... මේ දරුවත් තවම එලියේ ... "

" ඔයාලාට මහන්සිත් ඇති ... වොශ් එකක් දාගෙන එන්න මං කෑම ලෑස්ති කරන්නම් ... "

කොල්ලාගේ හිස ආදරයෙන් පිරිමැදලා ප්‍රියංකා ඇස් වල කදුලුත් පුරවගෙන එහෙම කියද්දී කොල්ලාට තමන් ගැනම තරහක් ආවේ ඇයව අඩවන එකට. තම මව ව තුරුලු කරගෙනම රකේල් වලව්වට පය තිබ්බේ ප්‍රමේෂ්ටත් ඇස් වලින් ආරාධනා කරමින්. 

කෙල්ල ගෙදර ඇවිත් පුරුදු විදියටම උදැල්ල අතට ගත්තේ වත්තේ ඉතිරි වෙලා තියෙන සරු බිම කොටලා පාත්තියක් හදලා කෘෂිකර්මෙන් ගෙනාපු බෙල් පෙපර් ඇට ටික තවන් දාන්න. 

" අයියෝ ... අමතක වුනානේ පහල ඇල ලග තැඹිලි ගෙඩි ටික කඩන්න ... "

" මේ ගිනි රස්නෙට මිදුල ඉස්සරහා පාරේ තිබ්බ නම් කියක් හරි හොයා ගන්නත් තිබුනා ... "

" සුද්දන්ට ඕවා පේන්න බෑ ... "

" අපි උන් බොන්නේ ඉතින් අර පාට කරපු අමෘතයනේ ... "

" රට උන් මෙහේ ඇවිත් තැඹිලි බොනවා අපේ අය උන් හොයලා දුන්නු රට බීම බොනවා ... "

" මෙහෙමත් ගොන්නු ඉන්න රටක් ... "

කෙල්ල ඉතින් පාලුව යන්නත් එක්ක තනියම කියව කියව වැඩ. දවල් වෙද්දි බිම සකස් කරගන්න කෙල්ලට පුලුවන් වුනා. පාත්තිය වටේ ට පෝර කෝටු ටිකකුත් හිටවපු කෙල්ල උදැල්ලත් අරන් ගේ දිහාට ගියේ යාන්තමට බඩගින්නක් කුසට දැනෙද්දි.

වැලේ තියලා ගිය චීත්තයත් නාල අදින ඇදුම් ටිකත් බාල්දියට දාගත්ත කෙල්ල සබන් පෙට්ටියත් අතේ අරගෙන නිල් පාටට උතුරලා පිටාර ගලමින් තියෙන ලිද ලගට ඇදුනේ අම්මා බදිමින් හිටිය කරවල පුසුඹටත් ඉව අල්ලමින්.

" සුවඳ සබන් ඇග ගාලා හායි හායි ... කුබුකේ ලිදෙන් දිය ඇදලා නාලා ... ඕයේ ... කැරකිලා දෙකට නැමිලා ... "

දිය රෙද්දකට මාරු වෙලා ඇදන් හිටිය ඇදුම් ටිකට සබන් ගා අතුල්ලන ගමන් තමයි කෙල්ල මේ සිංදු කිය කිය නටන්නේ. දර්ශනීට කර කර හිටිය වැඩෙත් පැත්තකට දාලා හිනාවේවී අහගෙන හිටියේ කෙල්ල සිංදු කියන හැටි.

" කොල්ලා වගේ හැදෙන හැටි ... තාත්තා වගේම හරිම හිතුවක්කාරයි ... "

මිගාර සිහි වීමෙන් දිගු සුසුමක් ඒ මුවින් පිට වුනත් තමන්ට කෙල්ලගෙන් ලැබුණු හයිය මතක් වෙද්දි ඒ ඇස් දරු සෙනෙහසටම කදුලින් තෙත් වුනා.

" තාත්තා වගේ හිතුවක්කාර වුනාට මං කියන දේකට පිටින් කවදාවත් ගිහින් නෑනේ අද වෙනකන් ... "

" තේරෙන කාලේ ඉදලා ජිවීතේ ගැටගහගන්න මට පුලුවන් විදියට උදව් කලා මිසක් කැමති දෙයක් දැක්කත් ඉල්ලපු දරුවෙක් නෙමේනේ ඒ ... "

" උබට කවදාවත් වරදින්නේ නෑ පුතේ ... "

" පිරිමි දරුවෙක් වගේ උබ හැමදාම මට හයිය වුනා වගේ දවසක උබේ මහත්තයාටත් වාසනාව අරන් යයි ... "

දර්ශනීට හිතේ ඇය ගැන තියෙන්නේ මහා බරක්. පිරිමි පුලුටක්වත් නැති ගෙදර ඇහැට කනට පේන දුවක් ඉද්දි ඒ හිතට දැනෙන්නේ සුලු පටු බයක් නෙමේ. උදෑසනම කඩවල් වලට කඩයප්පන් වගේම එලකිරිත් අරගෙන යන එකට ඇය තදින් විරුද්ධ වුනත් දණිස් අමාරුවෙන් පිඩා විදින තමන්ට එතරම් දුරක් යවන්න කෙල්ල කොහොමටවත් කැමති වුනේ නෑ. ඉතින් දර්ශනී ඇයට හිතුවක්කාරි කියන්නේ ඒ නිකන්ද.

" අම්මේ ... බඩගිනියෝ ... "

දිය රෙද්ද එක්ක ඇදුම් ටික වැලට දානගමන් තමයි කෙල්ල මේ අම්මට බෙරිහන් දෙන්නේ.

" කෑම බෙදලා තියෙන්නේ ඇවිත් කන්න ... "

දර්ශනිත් ඉතින් කුස්සි කෑල්ලේ ඉදන් හූමිටි තියෙනවා.

" මොනවාද සුදා අද හදලා තියෙන්නේ ... "

කෑම කාමරයට ආවා කෙල්ල බත් එක වහලා තියෙන කූඩේ අයින් කරන ගමන් මවට විරිත්තලා වගේ හිනාවෙලා තමයි මේ එහෙම අහන්නේ.

" ෂා ... ෂා ... කිරිකොස් හදලා ... කරවල බැදලා ... පලා මැල්ලුම් ... බත් හැලියටම වග කියන්නන්කෝ සුදූ ... "

දර්ශනී කෙල්ලට තරවටු බැල්මක් හෙලද්දි කෙල්ල මෝඩ පහේ හිනාවකින්ම දර්ශනී දිහා බලලා බෙදලා තිබුනු බත් එකක් අරගෙන කෑම මේසයෙන් වාඩි වුනා.

" දෝණී ... මං කියලා තියෙනවා නේද ගැණු ළමයෙක් වුනාම කතා කරන්න ඕන විදිය. මගෙන් ගුටි නම් කන්න එපා හරිද ... "

කෙල්ල ඉතින් අහිංසක පෙනුමකට මාරු වෙලා බත් පත දිහාම බලාගෙන කෑම කනවා. කෙල්ල දන්නවා තමන් නිශ්ශබ්ද වුනාමත් අම්මට දුක හිතෙනවා කියන්නේ. කපටිකමට කෙල්ල දර්ශනී දිහා බැලුවේවත් නෑ.

" දෝණී ... තව කරවල කෑල්ලක් දාන්නද ... "

හිත ඇතුලෙන් කෙල්ල ජෝගී නටනවා. 

" ඔය එන්නේ කරවල කුට්ටි කුට්ටි ... "

" තව ටිකක් සද්ද නොකර ඉදින් ආරූවෝ ... "

කෙල්ලගේ සද්දයක් පිටින් නෑ. හිත ඇතුලෙන්නේ ගේම යන්නේ.

" දෝණී ... මොකද මේ තව බත් දාගෙන කන්න ... "

කෝ ඉතින් කෙල්ල නෙමේ කතා කලේ. දර්ශනීට දුකයි කෙල්ලගේ හිත රිද්දුව කියලා. ඇය කල්පනා කලේ කෙල්ලගේ මූඩ් එක යථා තත්වයට පත් කරගන්න විදියක්. ඔන්න එතකොට තමයි දර්ශනීට මතක් වුනේ කෙල්ල වත්තේ වැඩ කර කර ඉද්දි සුගතපාල පාරේ ඉදලා කතා කරලා ඇඹුල් පේර මල්ල දීලා ගියා නේද කියලා. කන එකත් පැත්තක තියලා ඇය ගියේ පුංචි කුස්සි කෑල්ලට.

" ආ ... සුගතපාල මාමා ඔයාට දෙන්න කිව්වා ... "

කෙල්ලගේ ඇස් බලන් ඉද්දි දිලිසුනා. ඇය හොරාට ඇස් යැව්වේ අම්මා තියලා ගිය ඇඹුල් පේර කෝප්පේට.

" බුදු සත්තෝ ... ඉදිච්ච ඇඹුල් පේර ගොඩ ... "

" බඩේ ඉඩ තියාගන්න ඕන මේ ටිකට වග කියන්න ... "

" චිකේයියා ... ගම කෑවනේ ආරූ ... "

" වෙනදා වගේම අම්මාගේ ගැටේට අහුවුනානේ ... "

දර්ශනී හිනාවේවීම බලන් හිටියේ කෙල්ලගේ ඒ සුන්දර වතේ වෙනස් වෙන ඉරියව් දිහා. ඇය ආසාම ඇඹුල් පේර කන්න කියලා දර්ශනී දන්නවා. ඒ නිසාමයි ඇයව රවටන්න ඇඹුල් පේර ගෙනත් දුන්නේ.

කෑමත් කාලා හිමින් සීරුවේ ඇඹුල් පේර කෝප්පයත් අරන් කෙල්ල මිදුලට බැස්සේ ඇයගේ සුපුරුදු අඹ ගහ යට බංකුවේ වාඩි වෙන්න හිතන්.

" ෂ් ... ෂ් ... "

කෙල්ල වැට දිහා ඇස් කරකවලා බැලුවේ ඇයට සංඥාවක් දෙන්නේ කව්ද කියලා. 

" මේ බට්ටා මල්ලිනේ ... "

" අම්මා දැක්කොත් මට කාපුව දිරව ගන්න බැර වෙන්නම කෝටු පාරක් දේවී ... "

" අනේ අම්මපා මුන්ට මාව නොමග යවන්නේ නැතිව ඉන්නම බෑනේ ... "

කෙල්ල ඇඹුල් පේර ටික බට්ට මල්ලිට නොපෙනෙන්න හංගලා තමයි තමන්ට විතරක් ඇහෙන්න මේ බැන බැන වැට ලගට යන්නේ.

" මොකෝ බට්ටෝ සද්ද දාන්නේ ... "

බට්ට කෙල්ලගේ ගෙවල් පැත්ත දිහා විපරම් කරලා තමයි වැට අස්සෙන් කෙල්ල ලගට ආවේ.

" ආරූ අක්කේ යමුකෝ ඕයී අදවත් සෙල්ලම් කරන්න ... " 

" තමුසේ නැතිව වැඩක් නෑ අප්ෆා සෙල්ලම් කරන්න ගියත් ... "

කෙල්ල හෙන ආඩම්බරකමක් මුණට ආරූඪ කරගෙන තමයි බට්ට මල්ලි කියන දේ අහන් හිටියේ.

" අම්මා එන්න දෙන්නේ නෑනේ බට්ටෝ මං කෙල්ලෙක් කියලා ... "

ආඩම්බරකම දුක හිතෙන මූඩ් එකට මාරු වුනේ බට්ටගේ කටත් ඇදවෙලා ද්දි. මොකද ඔහු දන්නවා කෙල්ල එහෙම කියන්නේ එන්නේ නැති දවසට කියලා.

" මොකක්ද අක්කේ අද නිමන්ත අයියත් එනවා කිව්වා එල්ලේ ගහන්න ... "

කෙල්ලගේ ඇස් දිලිසුනා නිමන්තගේ නම ඇහෙද්දිත්. 

" ඒ ෂුවර්ද ලොක්කයියා එනවා කිව්වාද අද ... "

ඉගෙන ගන්න කාලේ කෙල්ලට පතපොත පවා අරන් දුන්නේ නිමන්ත තමයි. කැම්පස් යන්න උදව් කරන්න හැදුවත්කෙල්ල කැමති වුනේ නෑ අම්මාව දාලා කැම්පස් යන්න. නිමන්තත් කෙල්ලට බල කරන්න නොගියේ ගමන් පිට ඇයව යවන්න ඔහුගේ හිතෙත් කැමැත්තක් නොතිබුනු නිසයි.

" ඔව් එනවා කිව්වා. තමුසෙත් එනවාද ... "

කෙල්ල කල්පනා කලේ අම්මාව ශේප් කරලා ගෙදරින් පැන ගන්න විදියක් ගැන. 

" තමුසේ යනවකෝ ... මං එන්න බලන්නම් තව ටිකකින් ... "

අඹ ගහ යට බංකුව ලගට ඇවිත් කෙල්ල නියපොතු කකා කල්පනා කලේ මොකද කරන්නේ කියලා. ඒත් ඇයගේ හිතට හොද අදහසක් ආවේම නෑ.

" දෝණී ... මොකද අර ඇඹුල් පේර ටික පැත්තකට දාලා ... "

දර්ශනී තම දියණියට අසනීපයක්වත් හැදිලද බලන්න නලලෙයි ගෙලෙයි අත තියලත් බැලුවා. ඒත් පේන්න තරම් අසනීපයක් ඇයට තිබුණේ නෑ.

" අම්මේ ... අදට විතරක් මට එල්ලේ ගහන්න යන්න දෙන්නකෝ ... "

" ලොක්කයියත් එනවා කිව්වලු ... "

" මං එයා එක්කම ඉන්නම් ... "

දර්ශනීට කෙල්ල දිහා බැලුවේ කේන්තියෙන්. නිමන්ත වුනත් තරුණයෙක්. ඉතින් ඔවුන් එක කුස උපන් සහෝදරයන් නොවෙද්දි හිත් අයාලේ යන්නට තියෙන ඉඩ කඩ වැඩියි. කෙල්ල තවම පාසල් ගොස් නතර වුවා පමණි. ගින්දරයි පුලුනුයි එකතු නොකල යුතුය.

" දෝණී ... මං ඔයාව තාත්තත් නැතිව මේ තරම් කල් උස්මහත් කලේ හිතේ මහා බයක් තියාගෙන. ඔයා ලොකු ළමයෙක් වෙච්ච දවසේ ඉදලා මං ඒ ගින්දර ඉහිලුවා වැඩියි. දැන්වත් ඔය පොඩි එකෙක් වගේ හිතන එක නතර කරන්න. කොල්ලෝ රොත්තක් මැද්දේ ඔයා කරන ඔය සෙල්ලම කෙල්ලෙක්ට හොද නෑ පුතේ. අම්මාට ආදරෙයි නම් දැන්වත් ඔය ගින්දර දෙන එක නවත්තන්න ... "

කෙල්ල අඩාගෙනම අම්මාට තුරුල් වුනේ නොදැන හරි ඇය අම්මාට දුක් දීලා නේද කියලා හිතමින්. දර්ශනීගේ ඇස් වලට කදුලු ඉනුවේ මිගාර නිසා දරුවත් ඇයත් මොනතරම් අසරණද කියලා දැනෙද්දි.

" මං ... මං ... ආයෙමත් එහෙම කරන්නේ නෑ ... අම්මා ... "

" මට ... සමාවෙන්න ... නොදැන මේ තරම් දුකක් දුන්නට ... "

දර්ශනී කෙල්ලගේ හිස පිරිමදිමින් ඒ හිස කිහිපවිටක්ම සිපගත්තා.

" නාඩ ඉන්නකෝ දැන් මගේ මැණික ... "

" හෙට ඉදලා වලව්වට කිරි බෝතල් දෙකක් එවන්න කියලා ... "

" තව ඉදි ආප්පයි ලැවරිය ටිකකුයි ඉල්ලලා ... "

කෙල්ලට එතකොටයි මතක් වුනේ උදේ මුණගැසුණු කාර් එක. ඇයගේ හිතේ කේන්තියක් ඇති වුනේ ඇයට අපහාස වෙන විදියට කතා කරපු නොදැකපු ඔහු ගැන මතක් වෙද්දි.

                     ¤ ¤ ¤ ¤ ¤ ¤ ¤ ¤


Comments

Popular posts from this blog

නීල නයනී 12

නීල නයනී 16

නීල නයනී 10